වර්ජනය ස්ථිරයි: වෘත්තීය සමිති 40 ක් එක මිටට

846

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වරාය, බැංකු, සෞඛ්‍ය, දුම්රිය, ජලය ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය හා අනෙකුත් ආයතනවල වෘත්තිය සමිති 40 ක් එක්ව රටපුරා සිදු කරන වැඩ වර්ජනය ඉදිරි දින කිහිපය ඇතුළත ආරම්භ කිරීම ස්ථිර බව වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

මෙම වර්ජනය ආරම්භ කරන දිනය හා කාලසීමාව කුමක්ද යන්න පමණක් ලබන 8 වැනිදාට පෙර සියලු වෘත්තිය සමිති එක්ව තීරණය කරන බව ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම වර්ජනය ස්ථිර වශයෙන්යෙන් ම කරන මුත් එය ආරම්භ කරන දිනය, අඛණ්ඩ වර්ජනයක් ද දින කිහිපයකට සීමා කරන වර්ජනයක් ද යන්න පිළිබඳ පොදු එකඟතාවකට ඒමට සිදුව තිබෙන බව ද ඒ මහතා කීය.

ඉකුත් 01 වැනිදා පැවැති එක්දින වර්ජනයට කිසිදු පියවරක් නොගත් ආණ්ඩුව වෘත්තිය සමිති මර්දනය කිරීමට හෝ බියවැද්දීමට ක්‍රියා කරන මුත් ඒවාට බිය නොවන බව ද ජයලාල් මහතා පැවසීය.

සෞඛ්‍ය, බැංකු, වරාය, විදුලිය ජල, දුම්රිය ආදී රටේ සාමාන්‍ය ජනජීවිතයට අතිශයින්ම බලපාන ආයතන හා මර්මස්ථාන සියල්ල එක්ව දින කිහිපයක් වර්ජනයක නිරත වුවත් ඉන් ජනතාවට දැඩි බලපෑම් එල්ල කරන නිසා ඒ ඒ වෘත්තිය සමිති සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පොදු එකඟතාවකට එන බව ද ඒ මහතා කීය. පාලකයින් නිහඬ නම් වැඩ වර්ජන හැර විකල්පයක් නොවන නිසා වර්ජන තීන්දුව ස්ථාවරම ක්‍රියාත්මක කරන බව ද ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment