වර්ජන කරමින් නීතිය කඩ කළ විට ගන්නා ක්‍රියාමාර්ග පස්සේ තේරෙයි

109

ඇමැති බන්දුල ගුණවර්ධන

වැඩ වර්ජන කරමින් නීතිය කඩ කළහොත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි නීතිය කඩකළ පසුව අවබෝධ කරගැනීමට හැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එහිදී කළ යුතු දේ කුමක්දැයි රජය පැහැදිලිවම තීරණය කරන බව පැවසූ ඇමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර ඇතිකර ගත් ගිවිසුම පිළිබඳ වැදගත් තීන්දුවක් මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් ලබන 20 වැනිදා ගැනීමට නියමිත බවද කිසිවකුටත් එය කඩාකප්පල් කිරීමට ඉඩ දිය නොහැකි බවද පෙන්වා දුන්නේය.

රටේ ජනතාවගේ යහපැවැත්ම උදෙසා රාජ්‍ය සේවයේ ඉන්ධන, වරාය සහ විදුලිය ආදී ඇතැම් සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීමට රජය කටයුතු කළ බවද ඇමැතිවරයා පැවසීය.

අභියෝගය භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය දොළහක් විදුලිය කැපුණ රටේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙමින් ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ආදී සියලු පෝලිම් අවසන් කරමින් ගැටලුව විසඳා ගැනීමට සුබදායී දිශානතියකට රට ගෙන එමින් තිබියදී දේශපාලන වැඩසටහනකට අනුව ක්‍රියාත්මක වර්ජන ක්‍රියාවලියක් තුළින් සියල්ල විනාශ කිරීම වුවමනාව වී තිබෙන අතර එය මුළුමනින්ම දේශද්‍රෝහි ක්‍රියාවක් යැයි ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment