වර්ජන නතර නොකළත් අපි පාසල් අරිනවා

131

සිසු – සිසුවියන් 300 කට වඩා අඩුවෙන් අධ්‍යාපනය ලබන පාසල් ලබන 21 වැනිදා ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. එම තීරණය කි‍්‍රයාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝගයන් පිළිබඳව අප අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියෙමු. අධ්‍යාපන ඇමැතිවරයා යළි පාසල් ආරම්භ කිරීමට ඇති සූදානම පිළිබඳව දැක්වූ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – ළමයින් 300 කට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් ලබන 21 වැනිදා යළි ආරම්භ කිරීමට තීරණය කරල තිබෙනවා.

එම තීරණය කි‍්‍රයාත්මක කිරිමට මේ වනවිට තිබෙන සූදානම කෙසේද?

පිළිතුර – ලබන 21 වැනිදා ළමයින් 300 කට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් යළි විවෘත කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට සෞඛ්‍ය අංශයේ අවසරය හිමි වී තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් පළාත් සභා මට්ටමින් පවා යළි පාසල් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එහිදී පාසල් ශුද්ධ පවිත‍්‍ර කිරීමේ සිට අවශ්‍ය සියලූ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටිනවා. ඒ අනුව ලබන 21 වැනිදා එම පාසල් යළි ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවා.

ප‍්‍රශ්නය – පාසල් යළි ආරම්භ කිරීමට ආණ්ඩුවේ පැත්තෙන් අවශ්‍ය සියලූ පියවර ගත්තත්, ගුරු සංගම් මේ මොහොත වනවිටත් ප‍්‍රකාශ කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ලබා නොදුනහොත් ලබන 21 දා සේවයට වාර්තා කිරීම වර්ජනය කරන බවයි.

ඒ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – 21 වැනිදා පාසල්වලට පැමිණෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ ජාතික වගකීම ඉටුකිරීමට විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සහභාගි වීමේ කි‍්‍රයාවලිය ඉතා හොඳින් සිදුවෙමින් තිබෙන බව වාර්තා වනවා. මෙම ගරු විදුහල්පති වැටුප් ප‍්‍රශ්නය අවුරුදු 24 ක් පුරා නොවිසඳී තිබුණ ප‍්‍රශ්නයක් එම ප‍්‍රශ්නය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළ අගමැතිතුමාගේ නායකත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කළා. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ මේ රට මුහුණ දී සිටින ආර්ථික සහ මූල්‍යමය වශයෙන් දුෂ්කරම කාලපරිච්ෙඡ්දයක් තුළදීයි. එම තීරණය නිසා ජාතික සහ පළාත් සභා මට්ටමේ දහස් ගණන් පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරුන් ජාතික අධ්‍යාපනය ලබාදීමේ තම යුතුකම සහ වගකීම ඉෂ්ට කිරීමට සහභාගි වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ වගේම මේ වනවිට පාසල් පවිත‍්‍රකරණයට සහ සෞඛ්‍යකරණයට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. ඒ සඳහා දෙමව්පියන්ගේ ද නොමද සහයෝගය හිමි වී තිබෙනවා. එම කටයුතු සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේම ප‍්‍රාදේශීය සහ දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුවල නායකයනුත් එක් වී සිටිනවා. ඒ සියලූ පාර්ශ්වයන් මේ අවස්ථාවේදී අත්වැල් බැඳගෙන තිබෙන්නේ අපගේ දරු පරපුරට අධ්‍යාපනය ලබාදීමේ ජාතික වගකීම හා යුතුකම ඉටුකිරීම සඳහායි.

ප‍්‍රශ්නය – අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ විසඳුමට මේ දක්වා ගුරු සංගම් තම එකඟතාවය ප‍්‍රකාශ කරලා නැහැ. එම තත්ත්වය තුළ 21 වැනිදා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකළහොත් ආණ්ඩුව ගන්නා කි‍්‍රයාමාර්ගය කුමක්ද?

පිළිතුර – සේවයට වාර්තා කිරීමේ සහ තම සේවය ඉෂ්ට කිරීමේ වගකීම සහ යුතුකම සෑම ගුරුවරයකුටම සහ විදුහල්පතිවරයකුටම තිබෙනවා. ඔවුන්ගේ වැටුප් ප‍්‍රශ්නය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මේ වනවිට යොදා තිබෙනවා.

සිසු දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ඉතා ගැඹුරු ජාතික වගකීමක්. දෙමාපියන් සහ දරුවන් ලක්ෂ ගණනින් මෙම 21 වැනිදා විවෘත වන දොරටුවෙන් පාසලට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක් මේක. සෑම විදුහල්පතිවරයකුම සහ ගුරුවරයකුම මේ වනවිට එන්නත්කරණයට ලක්කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මස දෙවන සතිය වනවිට එම කටයුතු ප‍්‍රමුඛත්වයක් දී සෞඛ්‍ය අංශ විසින් අවසන් කළේ පාසල් යළි ආරම්භ කිරීමේ ඇති වැදගත්කම සලකා බලලයි. විදුහල්පතිවරුන් සහ ගුරවරුන් පිළිබඳවත් තම අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ප‍්‍රශ්නය – ගුරු සංගම් චෝදනා කරනවා ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට බිලියන 30 ක් වෙන් නොකරන ආණ්ඩුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට ලක්ෂ 1200 ක් වෙන් කරන බවත්, එයාර් ලංකා ආයතනය වැනි ආයතන සඳහාත් මුදල් වෙන්කරන බව. එම චෝදනාව පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – ආර්ථික වශයෙන් මෙම අමාරු අවස්ථාවේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතිරේක රුපියල් 5000 ක් දීමක් ප‍්‍රකාශයට පත් කළා. අයවැය ලේඛනය ලබන නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරනවා. ඒ සඳහා තිබෙන්නේ තව ටික දිනයි. අයවැය ලේඛනය මගින් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල් ඇමැතිවරයා විසින් අයවැය ලේඛනය මගින් ඉදිරිපත් කරන රටේ සංවර්ධන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන්නේ ප‍්‍රාදේශීය සහ දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු මගින්. එම කමිටු මගින් සිදු කරන්නේ පාරවල් හදන එක පමණක් නොවෙයි. ජලය, විදුලිය ලබාදීම ඇතුළුව කොතරම් පුළුල් කි‍්‍රයාදාමයක් ඒ හරහා සිද්ධ වෙනවාද? එම කටයුතු නවත්වන්න කියන්න කාටවත් බැහැනේ. ගිය ආණ්ඩු කාලයේදී පටන් ගත් වැඩ කටයුතු පවා කි‍්‍රයාත්මක වන්නේ ඒ හරහා තමයි. ඔය චෝදනා කරන අය අපේක්ෂා කරනවා ඇත්තේ රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම තවතා දමන එක.

ප‍්‍රශ්නය – 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට ගුරුවරුන්ගේ සහයෝගය හිමිවේවි කියා ඔබ විශ්වාස කරනවාද?

පිළිතුර – ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලූව ආරම්භ වෙලා වසර 24 ක් වෙනවා. වසර 24 කට පසුව එම ප‍්‍රශ්නය විසඳීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ වී තිබෙනවා. ඊට අවශ්‍ය ප‍්‍රතිපාදනත් වෙන් කරලා තිබෙනවා.

සමහර ගුරු සංගම් පසුගිය ආණ්ඩුව බලයට ගෙන ඒමට පවා උදව් කළා. නමුත් එම ආණ්ඩුව මෙම ප‍්‍රශ්නය විසඳුවේ නැහැ. එසේ තිබියදී ඒ ආණ්ඩුවේ සිටිය අය මෙන්ම ඔවුන්ට සහයෝගය දුන්නු අය දැන් අපට උපදෙස් දෙන්න එනවා. නමුත් ඒ අයගේ කාලයේදී මේ ප‍්‍රශ්නය විසඳුවේ නැහැනේ. දැන් කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේ.

මේ වනවිට පාසල් යළි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරලා තිබෙනවා. දෙමව්පියන්ගේ සහයෝගයත් ඊට නොමදව හිමි වී තිබෙනවා. ලබන 21 වැනිදා සෑම ගුරුවරයෙකුටම ආත්ම ගරුත්වයක් ඇතිව නිදහසේ පාසලට පැමිණීමට අවශ්‍ය කටයුතු ආණ්ඩුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සූදානම් කරලා තිබෙනවා. කොවිඞ් අර්බුදයෙන් රට ගොඩ එන මේ අවස්ථාවේදී විවිධ පැතිකඩ ඔස්සේ විවේචන එල්ල කිරීමට වඩා ජාතියේ ගැඹුරුම වගකීම ඉෂ්ට කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහභාගි විය යුතුව තිබෙනවා.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment