වර්තාපිට වාර්තා බිහිකෙරෙන 2020 ටෝකියෝ

515

ජවසම්පන්න ශක්තිවන්තයින්ගේ හැකියාවන් මනාව ප‍්‍රදර්ශනය වූ තරගාවලියක් ලෙස මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල හැඳින්වීමේ වරදක් නොමැත. පසුගිය 24 දින ආරම්භ වුණු බර ඉසිලීමේ සටනට මේ වන විට ලෝක වාර්තා සහ නව ඔලිම්පික් වාර්තා කිහිපයක්ම එක්වී තිබීම එහි තරගකාරිත්වයට උදාහරණකි. එහිදී කැපී පෙනුණු ෂි ෂියෝන් නව ලෝක වාර්තාවක් සමග ඔලිම්පික් වාර්තා 02 ක් පිහිටුවමින් කි: ග‍්‍රෑ:73 ට අඩු බර පන්තියේ රන් පදක්කම චීනයට රැගෙන ගියේය. කිලෝ ග‍්‍රෑම් 364 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් මුළු බර එකතුව සඳහා ලෝක වාර්තාවක් පිහිටුවන ෂී ෂියෝන් ස්නැච් ක‍්‍රමයට කි: ග‍්‍රෑ:160 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි: ග‍්‍රෑ:190 ක් ඔසවමින් නව ඔලිම්පික් වාර්තා 02 ක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට මෙවර සමත් විය.

2020 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනන බව පෙර තියා පවසන්නට සමත්වූ 27 හැවිරිදි ධෛර්යවන්ත ක‍්‍රීඩකයා නමින් අදාළ ඉසව්වේ ලෝක වාර්තා 03 ම පැවතීම ද ඉහළ අගයක් ගන්නේ ය. එමෙන්ම, කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පන්තිය යටතේ ලී ෆෙබියන් පිහිටුවන ලද නව ඔලිම්පික් වාර්තා දෙක මෙන්ම චෙන් ලිජුන් කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පන්තිය යටතේ පිහිටුවන ලද නව ඔලිම්පික් වාර්තා දෙක ද මෙවර බර ඉසිලීම වර්ණවත් කළ බව නම් සැබෑය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආරම්භක තරඟ ඉසව් ත‍්‍රිත්වයේම රන් පදක්කම් චීනුන් සතු වීම වළක්වාලීමට කිසිදු රටකට නොහැකි විය.

ලී ෆෙබියන් ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 172 ක් ද මුළු බර එකතුව ලෙස කිලෝ ගෑම් 313 ක් ද ලෙස අදාළ වාර්තා සටහන් කළ අතර චෙන් ලිජුන් කි: ගෑ: 187 ක් ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට හා කි ග‍්‍රෑ: 332 ක් මුළු බර එකතුව ලෙස ඔසවමින් තම නම වාර්තා පොතට ඇතුළත් කර ගත්තේය.

ක‍්‍රීඩකයින්ගේ දක්ෂතාවයට දෙවැනි නොවුණු බර උසුලන්නියන් පළමු තරග ඉසව් ත‍්‍රිත්වය ආශ‍්‍රිතව පමණක් පිහිටුවා ඇති නව ඔලිම්පික් වාර්තා ගණන 08 කි. කි: ග‍්‍රෑ: 49 බර පන්තියේ රන් පදක්කම් ලාභී 24 හැවිරිදි චීන ජාතික හූ ෂීහූයි සහ කි: ග‍්‍රෑ : 59 බර පන්තියේ රන් පදක්කම් ලාභී 27 හැවිරිදි චීන තායිපේ ජාතික කියෝ හසින් චුන් නව ඔලිම්පික් වාර්තා ත‍්‍රිත්වය බැගින් බිහි කළ අතර කි: ග‍්‍රෑ: 55 බර පන්තියේ රන් පදක්කම් ලාභී 30 හැවිරිදි පිලිපීන ජාතික ඩයස් හයිඞ්ලින් ගේ නම ඉදිරියේ සටහන් වූ වාර්තා සංඛ්‍යාව 02 කි. මෙම යෞවනියන් අතරේ කැපී පෙනුණු ඩයස් හයිඞ්ලින් ඔලිම්පික් ඉතිහාසය තුළ පිලිපීනයට ලබාදුන් පළමු රන් පදක්කමේ හිමිකාරිණිය වීම කැපී පෙනේ. තම රටට ගෙන දුන් කීර්තියට ප‍්‍රතිචාර දක්වා ඇති පිලිපීන රජය ඇයට නිවසක් සහ මුදලින් ත්‍යාගයක් පිරිනැමීමට දැනටමත් තීරණය කර තිබීම ද සුවිශේෂිත ය. එමෙන්ම, කිලෝග‍්‍රෑම් 49 ට අඩු බර පන්තියේ රන් පදක්කම අහිමි වුවද එහි ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයේ ලෝක වාර්තාවට හිමිකම් කියන මීරාබායි චානු සායිකොම් ඉන්දියාවට ලබාදුන් දී පදක්කමට භාරතයෙන් ලැබී ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ආපසු නිවසට යන ගමනේදී නවදිල්ලි ගුවන්තොටුපොළේ සිට ඇය වෙසෙන මනිපූර් නුවර දක්වා මග දෙපස දහස් සංඛ්‍යාත ජනතාවක් ඇයගේ දක්ෂතාවයට කෘතවේදී වෙමින් ප‍්‍රතිචාර දැක්වීම ඒ අතර කැපී පෙනුණි. ඉන්දීය ක‍්‍රීඩිකාවක් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක් ආශ‍්‍රිතව වාර්තා කළ දෙවන පදක්කම එය වීම එහි අගය වැඩි වන්නට හේතු විය.

වාර්තා පිට වාර්තා බිහිකෙරෙන ක‍්‍රීඩාවක් ලෙස ප‍්‍රකට පිහිනුම් ආශ‍්‍රිතව මෙවරද සටහන්වූ වාර්තා ගණන වැඩිය. ඒ අතර ලෝක වාර්තා මෙන්ම ඔලිම්පික් වාර්තා ද සටහන් විය.

කාන්තා මීටර් 100 × 4 නිදහස් ආර රන් පදක්කම්ලාභී ඔස්ටේ‍්‍රලියාව නව ලෝක වාර්තාවක් බිහි කරමින් මිනිත්තු 03.29.69 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කළ අතර මිනිත්තු7.40.33 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් කාන්තා මීටර් 200 × 4 නිදහස් ආර ඉසව්වේ නව ලෝක වාර්තාවක් බිහිකරන්නට චීනය සමත් වූහ. මීට අමතරව සටහන්ව ඇති නව ඔලිම්පික් වාර්තා ගණන 07 කි. ඇමරිකාවේ සී. ඩෙසෙල් චීනයේ වයි. ෂෑංග්, ඔස්ටේ‍්‍රලියාවේ අරිආන් ටිට්මස්, ඊ. මැකේන් සහ ටබ්ලෙටි කුක්, රුසියාවේ ඊ. රිලෝව් හංගේරියාවේ කේ. මිලාර්ක් නව පිහිනුම් ඔලිම්පික් වාර්තා බිහි කළහ.

ගියවර 06 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වූ ස්විස්ටර්ලන්තයේ නෙෆ් ජොලන්ඩා මෙවර සාර්ථකත්වයක් පෙන්වමින් මවුන්ටන් පාපැදි තරගයේ රන් පදක්කම හිමිකර ගත්තේය. එහි රිදී සහ ලෝකඩ පදක්කම් ද ස්විට්සර්ලන්ත ක‍්‍රීඩකයින් විසින්ම දිනා ගත්තේ සමබරතාවය මුසුවුණු වේගවත් බව ලොව අන් අයට වඩා ඉදිරියෙන් බව පසක් කරමිනි. ගියවර 06 වැනියා වෙමින් මෙවර රන් පදක්කමට හිමිකම් කියූ තුන් ප‍්‍රයාම ශූරයා නොර්වේ රටින් බිහිවිය. පිහිනුම්, මාර්ග ධාවන සහ පාපැදි යන ඉසව්වන්ගෙන් සැදුම්ලත් වූ මෙම තරගය අවසානයේදී පැවැති දේශගුණය මත ඔහු අවස්ථා කීපයකදීම වමනය දැමීම ජාත්‍යන්තරයේ මාතෘකාවක් විය. ඒ මෙවර තරඟය සඳහා යොදාගෙන තිබූ කාල සීමාව තුළ පැවති උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙනි.

2008 අවසන් කිරීමට නොහැකි වෙමින් 2012 වසරේ 45 වැන්නිය ලෙසද 2016 රියෝ හිදී 08 ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වුණු බර්මුඩා ජාතික ඩෆී ෆ්ලෝරා තුන්ප‍්‍රයාම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවේ භද්‍ර යෞවනියන්ට අභියෝගයක් කරමිනි. පළපුරුද්ද සහ ඒ සඳහා ඇති කැපවීමට 33 හැවිරිදි ඩෆී ෆ්ලෝරා උදාහරණයකි. බ‍්‍රසීල කාන්තා පාපන්දු පිල නියෝජනය කරන ෆෝමිගා හෙවත් රෙල්ඩස් මැසියෙල් මෝටා පිට පිටම ඔලිම්පික් ක‍්‍රීඩා 07 කට සහභාගි වෙමින් තැබූ වාර්තාව මිල කළ නොහැකි ය. වයස අවුරුදු 13 ක් වන විට මුලින්ම බ‍්‍රසීල පිල නියෝජනය කරන්නට වරම් දිනාගත් ඇය මේ වන විට 43 හැවිරිදි වියේ පසු වෙමින් ප‍්‍රදර්ශනය කරන දක්ෂතාව වත්මන් යෞවනියන්ට කදිම ආදර්ශයකි.

1996, 2000, 2004, 2008, 2012, 2016 සහ 2020 නොකඩවා ක‍්‍රීඩා කළ ද ඒ කිසිදු අවස්ථාවක රන් පදක්කමට හිමිකම් කියන්නට ඇයට නොහැකි වීම ද කැපී පෙනෙයි. එමෙන්ම නොකඩවා පස් වතාවක් බ‍්‍රසීල කණ්ඩායමේ පෙර පෙළ ක‍්‍රීඩිකාවක ලෙස ප‍්‍රතිවාදීන්ට හිසරදයක්ව සිටින මාර්ටා වෙයිරා ද සිල්වා මෙවර තැබූ වාර්තාව ද කැපී පෙනේ. ඇය සහභාගිවූ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල 05 ආශ‍්‍රිතවම ප‍්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිව ගෝල් වාර්තා කරමින් තැබූ වාර්තාව ඒ අනුව ඉහළ අගයක් ගත්තේ ය. 2016 මුලින්ම හඳුන්වා දෙන ලද සත්සාමාජික රග්බි පාපන්දු තරගාවලිය දෙවන වරට මෙවර පැවති අතර ඒ සඳහා සහභාගි වූ සියලූ පිල් අභිබවමින් රන් පදක්කම ගෙල පැළඳ ගැනීමට ෆීජී දේශය ට හැකිවිය. පසුගිය වර රන් පදක්කම ද ෆීජි සතු විය. ජාත්‍යන්තර රග්බි පොරපිටියේ ඉදිරියෙන්ම පසුවන නවසීලන්තයට එරෙහිව අවසන් තරගය ජය ගැනීමට ෆීජී දේශයට හැකි වූ අතර එහි තෙවන ස්ථානය ආර්ජන්ටිනාව සතුවිය. අභිනවයෙන් හඳුන්වා දෙන ලද කණ්ඩායමකට තිදෙනා බැගින් වූ පැසිපන්දු තරගාවලියේ පිරිමි රන් පදක්කම ලැට්වියානුවන් දිනාගත් අතර එහි කාන්තා රන් පදක්කම ඇමරිකාව සතු විය. ජාත්‍යන්තර ඔලිම්පික් ධජය යටතේ තරග වැදුණු සෝවියට් රුසියාව ප‍්‍රමුඛ කණ්ඩායමට එකී පිරිමි හා කාන්තා රිදී පදක්කම් හිමි වීමද කැපී පෙනුණි.

– අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment