වර්බුම් රූපවාහිනී මාධ්‍ය මෙහෙවර රටට ලෝකයට ආදර්ශයක්

52

රුවන්පුර රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණෝ ප්‍රකාශ කරති

ස්වාමීන් වහන්සේගේ ශ්‍රී හස්තයේ සෙවණේ සිටිමින් උන් වහන්සේගේ ආශීර්වාදයෙන් වර්බුම් රූපවාහිනී නාලිකාව දීර්ඝ කාලයක් අමිල වූ සැබෑ මාධ්‍ය මෙහෙවරක් අපගේ මුළු මහත් රටටත් ලෝකයටත් ඉෂ්ට කරමින් සිටින බව රුවන්පුර රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන් ප්‍රකාශ කළේය.

දෙවියන් වහන්සේ අපගේ හඬට සවන් දී අපි කරන ක්‍රියාවලදී අපිට සහාය දී අවුරුදු අටක් තිස්සේ ඉදිරියට යන්නට අපට ධෛර්යය දුන්නාට උන්වහන්සේට නිහතමානීව ස්තූති වන බව වර්බුම් නාලිකාවේ භාග්‍යවත් අට වසර සපිරීම නිමිත්තෙන් මහෝත්තම වූ පියාණන් වහන්සේට තුති පිදීමේ දිව්‍ය පූජා යාගය රාගම ශුද්ධ වූ පේදුරු සහ පාවුලු මුනිඳුන්ගේ දේවස්ථානයේදී ඔප්පු කළ අවස්ථාවේ දේශනා කරමින්ය.

වැඩිදුරටත් දේශනා කළ රුවන්පුර රදගුරු හිමිපාණන් කියා සිටියේ දෙවියන් වහන්සේ අපට දී තිබෙන විශේෂ තිළිණයක් වන වර්බුම් නාලිකාව රැකගැනීම කතෝලිකයන් වන අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක් බවයි.

මෙම දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා හලාවත පදවි දිමුතු ආයතනයේ උපාධ්‍ය ජූඩ් නික්ලස් පියතුමා සහ කොළඹ අගරදගුරු පදවි ජාතික හෙද සංගමයේ අනුශාසක නිමල මරිය නිකායේ ලහිරු ලක්ෂාන් ප්‍රනාන්දු පියතුමා රදගුරුතුමාට සහාය ලබා දුන්නේය.

වර්බුම් නාලිකාවට සම්පත් දායකත්වය ලබාදෙන පියතුමන්ලා, පැවිදි සොයුරියන් මෙන්ම නාලිකාවේ සභාපති අනුර මිලන් ද සිල්වා මහතා සහ විධායක අධ්‍යක්ෂිකා මල්ලිකා ද සිල්වා මහත්මිය ඇතුළු වර්බුම් කාර්ය මණ්ඩලය ද, සෙනෙහෙබර ප්‍රේමයෙන් බැඳෙමින් අප වෙනුවෙන් බැතිබර දායකත්වය ලබාදෙන බැතිමතුන් ද දිවයින පුරා විහිදී සිටිමින් අපට කිතුනු පුවත් ලබාදෙන ප්‍රාදේශීය වාර්තාකරුවන් සමග ඇදහිලිවන්තයන් මෙම අවස්ථාවට සහභාගි විය.

රාගම මීසම් සේවක ලලිත් ෆීලික්ස් පියතුමාගේ උපදෙස් පරිදි රාගම රෝහල් උපාධ්‍ය සහ සහායක මීසම් සේවක ක්‍රිෂ්ණක ඩිලාන් පෙරේරා පියතුමා වර්බුම් කාර්ය මණ්ඩලය හා එක්ව මෙම දිව්‍ය පූජාව සංවිධානය කළේය. දිව්‍ය පූජාව ඔප්පු කරන අවස්ථාවක් ඡායාරූපයෙන් දැක්වේ.

සේයාරූ – අනුරාධ සඳරුවන්
සටහන – සරත් අතුකෝරල

advertistmentadvertistment
advertistmentadvertistment