වරායෙන් මුදා නොගත් දොඩම් කිලෝ 72000ක් රෝහල්වලට

112

ආනයනය කොට වරායෙන් මුදා නොගත් කහ දොඩම් බහාලුම් 03ක් රෝහල්වලට බෙදාදීමට වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළේය.

ඒ අනුව පසුගිය දින එම කහ දොඩම් බහාලුම් 3ක් වරායේදී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාරදෙනු ලැබීය.

මෙම දොඩම් කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්‍ෂා රෝහල ඇතුළු පළාත්බද රෝහල් 60කට පමණ බෙදාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ප්‍රදානයන් පිළිබඳ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේය.

එක් දොඩම් බහලුවක දොඩම් කිලෝ 24000 කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ගොඩබාන ලද මෙවැනි බහලු 02ක් වරාය, නාවික හා ගුවන්සේවා ඇමැතිවරයා හා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා විසින් සෞඛ්‍ය ඇමැතිවරයාට භාරදෙන ලදී.

තවද කොළඹ ජාත්‍යන්තර පර්යන්ත සමාගමේ (CICT) අංගනයෙන් ගොඩබාන ලද මෙවැනිම තවත් බහාලුවක් එහි සාමාන්‍යාධිකාරි දොන් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාට භාරදෙන ලදී.

ඒ අනුව බහාලු තුනෙහිම දොඩම් කිලෝ 72000 ක පමණ ප්‍රමාණයක් අඩංගු වී ඇත. මෙහි දළ වානිජ වටිනාකම මිලියන 72ක් පමණ වේ. (කිලෝ එකක වෙළෙඳපොළ වටිනාකම රු. 1000/= ලෙස තක්සේරුව අනුව)

මෙම දොඩම් නොමිලේ රෝහල වෙත ලබාදෙන බැවින් මුදල් අමාත්‍යාංශය අදාළ රේගු බදු ඉවත් කර ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා (CICT) පුද්ගලික පර්යන්තය අංගන ගාස්තු අය කිරීමකින් තොරව භාණ්ඩ නිදහස් කිරීමට තීරණය කර ඇත.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා රේගුව,

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment