වරායේ මුළුතැන්ගෙය සහ ආහාර සැකසීම වහාම වෙනස්විය යුතුයි

405

කජු වෙනුවට වෙනත් ආදේශක යොදාගන්න

වසර හතළිස් හතරකට (44) පෙර ඉදිකළ වරාය මුළුතැන්ගෙය මේ වන විට ඉතාමත්ම අබලන් තත්ත්වයට පත්වී ඇති බවත්, එහි ආහාර සැකසුම් තවමත් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙම තත්වය වහාම වෙනස් කළ යුතුව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය බලධාරීන්ට පැවසීය.

වරාය වෘත්තීය සමිති සමග පසුගියදා පැවති සාකච්ඡාවක දී වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයාට වරාය මුළුතැන්ගේ පවත්නා අඩුපාඩු සහ ආහාරවල ප්‍රමිති රහිත බව පිළිබඳ ඉදිරිපත් කළ කරුණු අනුව අමාත්‍යවරයා පෙර දැනුම් දැනුම්දීමකින් තොරව වරාය මුළුතැන්ගෙයි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

1978 ඉදිකළ මෙම වරාය මුළුතැන්ගෙය ඉන්පසු මේ දක්වා භෞතික වශයෙන් හෝ උපකරණ වශයෙන් ප්‍රතිසංස්කරණයකට ලක් වී නැති බව එහි සේවකයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

මෙහි සේවක සේවිකාවන් 169 සේවය කරන නමුත් ඔවුන්ට ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්, ඒවා පරිහරණය කළ හැකි අන්දමට තත්ත්වයක නොපැවතීම පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය මෙහි දී යොමු විය

එසේම දිනකට දිවා ආහාරය 5000 ට සහ රාත්‍රී සේවකයන් 3500 සඳහා ආහාර සම්පාදනය කරන වරාය මුළුතැන්ගෙට ප්‍රධාන සූපවේදියෙක් නොමැති වීම විශාල අඩුවක් බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

එක් ආහාර කට්ටලයක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බව සේවකයන් මෙහිදී පෙන්වා දුන් අතර ආහාර සඳහා යන වියදමින් සියයට හතළිස් පහක් (45%) පමණ වියදම් වන්නේ කජු සඳහා බව වෘත්තීය සමිති පෙන්වාදුන් කාරණය පිළිබඳ මෙහි දී අමාත්‍යවරයා ප්‍රශ්න කළ අතර ඒ අනුව අමාත්‍යවරයා දැනුම් දුන්නේ කජු වෙනුවට ආදේශක ආහාර ද්‍රව්‍ය කෑම වේලට එකතු කරන ලෙසයි.

එසේම වරාය මුලුතැන්ගේ සඳහා භාණ්ඩ සැපයීමට ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මෙම මුළුතැන්ගෙය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක නවීන උපකරණ සහිත මුළුතැන්ගෙයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී උප සභාපතිවරයාට පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment