වරායේ වැලි ඉවත් කළ ‘වැලිගොව්වා’ පරණ යකඩවලට විකුණන්න ටෙන්ඩර් කැඳවයි

203

කිරින්ද වරාය ඇතුළු වරායන් ගණනාවක වැලි ඉවත් කිරීම සඳහා භාවිත කළ වැලි ගොව්වා නමැති නෞකාව යකඩ සඳහා විකිණීමට මේවන විට ටෙන්ඩර්පත් කැඳවා ඇතැයි කිරින්ද වරායේ කළමනාකරු එම්. තිලකරත්න මහතා පැවසීය.

ලංකා ධීවර වරාය සංස්ථාවට අයත් මෙම නෞකාව කිරින්ද වරාය ඇතුළු හම්බන්තොට, තංගල්ල, දෙවුන්දර, ගාල්ල යන වරායවල ගොඩවන වැලි ඉවත් කිරීමේ කාර්යන් සඳහා භාවිත කළේය. මෙම නෞකාව නිසි නඩත්තුවක් නොවීම හේතුවෙන් අක්‍රීය වී කාලයක් තිස්සේ දිරාපත් වීමට පටන් ගෙන තිබුණු අතර, වසර පහක පමණ කාලයක සිට කිරින්ද වරායේ ගාල්කර නැංගුරම්ලා තිබුණි.

නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම වැලිගොව්වා නෞකාව යකඩ සඳහා විකිණීමට ලංකා ධීවර වරාය සංස්ථාවේ කොළඹ ප්‍රධාන කාර්යාලය මගින් ටෙන්ඩර් පත් කැඳවා තිබේ.

මේ වන විටත් කෝටි තුනහමාරකට මෙම නෞකාව අලෙවි කර ඇති බවට ධීවරයන් විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කිරින්ද ධීවර වරායේ කළමනාකරු සඳහන් කළේ එවැන්නක් තමන් නොදන්නා බවත් මෙම නෞකාව අලෙවි කිරීම සඳහා ටෙන්ඩර්පත් කැඳවා ඇති බව පමණක් දන්නා බවත්ය.

සුනාමි ව්‍යසනයේදී මෙම නෞකාව ගොඩබිමට ගසා තිබූ අතර, එය නැවත අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත්කර සේවයට එක්කර ගෙන තිබිණි. මෙම නෞකාව නිසි පරිදි නඩත්තු කළේ නම් මෙසේ යකඩවලට අලෙවි කිරීමට සිදු නොවන බවට ධීවරයෝ චෝදනා කරති.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment