වරාය නගරයට විදේශ ආයෝජන ගලාගෙන එනවා – විදේශ කටයුතු ඇමැති අලි සබි්‍ර

351

රටේ සියලු කටයුතුවලට දේශපාලන ස්ථාවරය බලපානවා – විජිත හේරත් (ජාජබ)
මැතිවරණය කල් දැමීම සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල
පෝර්ට් සිටියට සින්නක්කර දී තිබූ ඉඩම් අප රටට නැවත ගන්න හැකි වුණා – පාඨලී චම්පික රණවක (සජබ)

වරාය නගරය ඉදිකිරීමට කළුගල් ලබා ගැනීමට සීගිරිය කඩන්න වෙයි කියා ඇතැම් නායකයන් කිව්වත් මේ වන විට එම ව්‍යාපෘතිය සඳහා යුරෝපය, සිංගප්පූරුව, වැනි විදේශ රටවල්වලින් ආයෝජන ගලා එන බව විදේශ කටයුතු ඇමැති අලි සබි්‍ර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.

නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2299/46 සහ 2299/47 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග දෙකක් පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින්, විදේශ කටයුතු ඇමැති අලි සබි්‍ර මහතා :

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ මීට පෙර නියෝග කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. අද ඒවා අනුමත කිරීම සිදුවනවා. මේ කොළඹ වරාය නගරය 2014 දී පටන් ගන්නකොට එය ඉතාම ආර්ථික වාසිදායක ව්‍යාපෘතියක් කියලා ප්‍රකාශ කළත් ඇතැම් දේශපාලන පක්ෂ ඒ ගැන දැක්වූ ආකල්ප මොනවාද කියලා. දේශපාලන වාසි මත මෙය සම්පූර්ණයෙන්ම වහනවා කියලා 2015 දී කිව්වා. ඒ නිසා මේක වසර එකහමාරකින් කල් ගියා. ඒ නිසා ඊට තිබූ වටිනාකම අඩු වුණා. ඒ වටිනාකම් සම්පූර්ණයෙන්ම නැති වුණා. එහෙම නොවුණා නම් මේකට චීනය විශාල වශයෙන් ආයෝජන කරන්න හිටියා. නමුත් ඒවා නැතිවී ගියා. මේක පටන් ගන්න කොට සමහර නායකයෝ කිව්වා මේක හදන්න කලුගල් කොහෙන්ද කියලා සීගිරිය කඩන්න තමයි වෙන්නේ කිව්වා. නමුත් එහෙම වුනේ නෑ. අපි බලන්නේ රටට නව ආයෝජන ගේන්නේ කොහොමද? රටට වැදගත් දේවල් සුරක්ෂිත කරගන්නේ කොහොමද බොරු කියන්නේ නැතුව කියලා. මේ වරාය නගරය වහලා දාපු නිසා චීනය සමග තිබූ මිත්‍රකම් නැති වුණා. චීනය තරහකර ගත්තා. නමුත් පසුව ඔවුන් නැවත එනකොට ඒ වටිනාකම් නැති වුණා. හැම දෙනාම විවිධ කතා කියනවා. නමුත් මේවා සඳහා වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අපි දන්නවා ගිය වසරේ මේ මාසේ වන විට පැය 13ක් විදුලිය කැපුවා. ගෑස් නෑ. තෙල් නෑ. නමුත් අපි අද යම් ප්‍රගතියක් ලබා තිබෙනවා. එහෙම නෑ කියන්න පුළුවන් කුහකයකුට පමණයි. අද උද්ධමනය අඩු කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. දේශපානලය කරන්න පුළුවන්. නමුත් අපි රටේ දේවල් ආරක්ෂා කරගන්න ඕනා. රට වැටුනොත් සියල්ල ඉවරයි. මේ වරාය පනත මම තමයි ගෙනාවේ. නමුත් ඒ ගැන මහා බිල්ලෙක් මැව්වා. චීන කොලණියක් කරනවා කිව්වා. ඒකට යන්න වීසා ගන්න ඕනා කිව්වා. විවිධ පනත් ගේනකොට ඒවාට විරුද්ධ වෙනවා. අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු කරනවා විතරයි. වැඩක් කරන්නේ නෑ. අපිට දැන් මේ වරාය නගරය ගැන ඊයේ වන විට සුබ ආරංචි ලැබිලා තිබෙනවා. රටවල් කිහිපයකින්ම ආයෝජන ලබා දෙන්න මේ වන විට කැමති වෙලා තිබෙනවා. මේකට ආයෝජනය කරන චයිනා හාබර් ආයතනය සියයට 93ක් පමණ මුදල් ආයෝජනය කරලා ඉවරයි. යුරෝපය, සිංගප්පූරුව, වගේ රටවල් වලින් ආයෝජන එනවා කියලා පොරොන්දු වෙලා තිබෙනවා. මේ ව්‍යාපෘතිය හරහා රැකියා අසූ හත් දහසක් පමණ ලැබෙනවා. ඊට වඩා වැදගත් වෙන්නේ අපේ රට මේ කලාපයේ කේන්ද්‍රස්ථානය වෙනවා. අපිට රටවල් තරහ කරගෙන මේ වැඩ කරන්න බෑ. ඇමරිකාව වගේම චීනයත් අපිට වැදගත්. යුරෝපය, එංගලන්තය තරහ කරගන්න අපට බෑ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

අද රටේ ජනතාව විශාල පීඩනයක ඉන්නේ. ජීවත් වීමේ ප්‍රශ්නය, ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය වැනි කාරණා නිසා. අද මම දැක්කා මැතිවරණ කොමසාරිස්වරයා කියලා තියෙනවා ලබා ගත්ත ඇප මුදල් ලබාදෙන්නේ නෑ කියලා. ඒකටත් කෙළලා, එච්චරටම බංකොලොත් වෙලා. ලැජ්ජයි. ඡන්ද අයිතිය කියන්නේ අපේ මූලික අයිතිවාසිකමක්. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අපේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ. මැතිවරණ කොමිසම මැතිවරණ නොතියා කකුලෙන් අදිනවා කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමට පහරක්. අපේ ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පසු සියලු රාජ්‍ය ආයතන ඒ සඳහා උදව් කළ යුතුයි. උදව් කරේ කලේ නැතිනම් වසර 3ක සිර දඬුවමක් ලබා දෙන්න පුළුවන්. අද මුද්‍රණාලාධිපති සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ව්‍යවස්ථාව පැත්තකට දාලා චක්‍රලේඛ දෙකක් අල්ලගෙන දඟලනවා. එක චක්‍රලේඛනයක් තමයි ණයට ඡන්ද පත්‍රිකා ගහන්න එපා කියන එක,එතකොට ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා අත්‍යවශ්‍ය වියදම් කියලා. මේවා නිවේදන විතරයි. මැතිවරණ වියදම් අත්‍යවශ්‍ය වියදම් හැටියට එතුමා ගණනය කරලා නෑ. එක චක්‍රලේඛනයක් සහ නිවේදනයක් අල්ලගෙන ව්‍යවස්ථාව අභිබවා යන්න පුලුවන්ද? මෙච්චර දෙයක් තේරෙන්නේ නැද්ද? එහෙම කරන්න බෑ. චක්‍ර ලේඛන සහ සියලු නිවේදන ව්‍යවස්ථාවට යටයි. අපි විශ්වාස කරනවා අධිකරණය මැතිවරණය කල් දාන්න ඉඩ ලබාදෙන්නේ නෑ කියලා. මොකද මැතිවරණය කල් දානවා කියන්නේ මේ රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

එම නිසා අපි අධිකරණයට කියනවා රජයට මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නයි නියෝගයක් නිකුත් කරන්න කියලා. පසුගිය අයවැය හරහා මැතිවරණ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තියෙනවා. ඒ මුදලින් මැතිවරණ කොමිසම ඉල්ලන්නේ බිලියන 5යි. ඇයි ඒ මුදල මුදාහරින්නේ නැත්තෙ? අද මුළු රටම අධිකරණය දිහා බලාගෙන ඉන්නවා. මොකද ජනතාව මැතිවරණයක් ඉල්ලනවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක (ශ්‍රීලපොපෙ)

යහපාලන කාලයේ වරාය නගර ව්‍යාපෘතිය වසරක් නතර කර තිබූ නිසා විශාල හෝටල් දාන්න සිටිය ආයෝජකයෝ අත ඇරලා දැම්මා. ඉතිහාසය අපි වරද්දා ගත්තේ ආයෝජකයන්ට බය වෙලා. ආයෝජකයන්ට රැකවරණය හා ශක්තිය දුන්නා. ලොක්යේ රටවල් ජය ගත්තා. පෝර්ට් සිටි ව්‍යාපෘතිය හරහා අපට යන්න විශාල ගමනක් තියෙනවා.

අද ඇමරිකාව නොව චීනයයි ලොව ඉදිරියෙන්ම ඉන්නේ. ඒ නිසා චීන ආයෝජකයන්ව රැකවරණයක් දුන්නොත් අපට විශාල ගමනක් යන්න පුළුවන්.

පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ)

පසුගිය අයවැයෙන් බිලියන 10 ක් මැතිවරණයට වෙන් කළා. අද වනවිට පාර්ලිමේන්තුවේ මුදල් පාලන බලය අනිසි ලෙස විධායක ජනාධිපති අරන්. මුදල් ඇමැති ලෙස පාර්ලිමේන්තුවේ බලය අරන් නීති විරෝධී ලෙස කටයුතු කරනවා.

ස්වාධීන මැතිවරණ කොමිසම් ස්වාධීන බලය ආණ්ඩුව අද නැති කරලා. මුදල් දෙන්නේ නැහැ කියනවා. ණයට කිසිවක් කරන්න බැහැ කියලා චක්‍රලේඛ ගහලා. ඒවා ගැහුවේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසුයි. මුද්‍රණාලයට අවශ්‍ය කඩදාසි, තීන්ත තියෙනවා. එසේ තිබියදී නැවැත්වූයේ රහස් පොලිස් වාර්තා අනුවයි. ඡන්දයෙන් ආණ්ඩුවට සියයට 15 යි ලැබෙන්නේ කියලා ඒ අංශ කිව්වා. ඒකයි ඡන්ද අයිතිය නැවැත්වූයේ. අපි අධිකරණයට සියලු කරුණු දන්වනවා. අධිකරණය කවදාවත් මැතිවරණ කල්දාන්න තීන්දු දීලා නෑ. ආණ්ඩුව කියනවා තව මාස කිහිපයකින් රට දියුණුව ඇරඹෙනවා කියලා. එහෙනම් ණයට මේ මැතිවරණ කටයුතු කරලා පස්සෙ ගෙවන්න පුළුවන්නේ.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

කාර්මික සාමය රටේ පවත්වාගෙන යෑමට අපි අසමත් වී තියෙනවා. ඒ නිසා ඵලදායිතාවය නංවා ගන්න මෙතෙක් ආණ්ඩුවට බැරි වුණා. කාර්මික සමය නැති තැනකට ආයෝජකයන් එන්නේ නෑ. වරාය නගය අපේ රට අලුත් සංවර්ධන මාවතකට ගෙන යෑමට ඉදිරිපත් වූ සැලැස්මක්. එය සාර්ථක කර ගත යුතුයි.

පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)

අපි අනිවාර්යයෙන්ම විශ්වාසය ඇති කළ යුතුයි. ආයෝජන එන්නේ විශ්වාසය රට තුළ පැවැතුණොත් පමණයි. නීති රෙගුලාසිවලින් ඒවා හදන්න බැහැ. අපේ රටේ ව්‍යාපාරික සමාජය තමයි විවිධ රටවල ආයෝජන අවස්ථා ගෙන එන්න කතා කරන්නේ. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව පිළිබඳව ව්‍යාපාරිකයන් අතර කසුකුසුවක් පවතිනවා. වාර්තාව ඉදිරිපත් කළ ඒ නිලධාරියාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සේවය මාස 8 කට අත්හිටුවා තිබුණු අයෙක්. එතුමා දෙවැනි වාර්තාවකුත් දීලා. පළමුවෙනි වාර්තාව දීලා ෂාෆ්ටර් මහතා බෙල්ල සිරකර මරලා කියලා. දෙවන වාර්තාව දෙනවා ඔහුම සයනයිඩ් අරගෙන කියලා. මොකද්ද මේකෙ තේරුම. වහාම ව්‍යාපාරිකයන් අතර විශ්වාසය ඇති කරන්න නැත්නම් ආයෝජන එන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසුව සිදුවූ බැරෑරුම් අවස්ථාවක් මේක. නීති රාමුව ක්‍රියාත්මක වෙන එක බලා සිටිනවා. මීට පෙරදී තාජුඩීන් නැමත්තන් ඝාතනය වී මේ වගේම වාර්තා ආවා. අපේ රට හදන්න එන විට දේශපාලකයන් බැනුම් අහනවා. වෘත්තීයවේදීන් නිසයි ප්‍රශ්න ඇති වන්න.

රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්

ත්‍රීවීල් රථ ලක්ෂ අටක් පමණ අද ධාවනය වෙනවා. දරිද්‍රතාවත් අග සිටින මේ රියැදුරන්ට ඉන්ධන ප්‍රමාණය ලීටර් දහය දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙය කීප වතාවක්ම ඇමැතිගෙන් ඉල්ලුවත් නිෂ්ප්‍රභා වුණා. මේ ජනතාව ගැන සිතා බැලිය යුතුයි. රට ගෙන යෑමට ඍජු විදේශ ආයෝජන අවශ්‍යමයි. විශේෂ ආයෝජන කලාපයක් වන පෝර්ට් සිටිය ඒ සඳහා යොදාගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ)

පෝර්ට් සිටියේ සින්නක්කරව දී තිබූ ඉඩම් ලංකාව යටතට ගන්න අපට හැකි වුණා. කිසිම පරිස අධ්‍යයනයකින් තොරව ඉදිකිරීම් කළා නම් කොළඹට දැඩි ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. ඒ තත්ත්වය අපට වෙනස් කරන්න හැකි වුණා. කිසිම මාර්ගෝපදේශයක් නැතිව 2019 දී වරාය නගරය ගොඩනැඟුවේ අප.ි පසුව එය නිවැරදිව කළා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

වරාය නගරය ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක්. මේ ව්‍යාපෘතිය 2014 සිට 2017 දක්වා ක්‍රියාත්මක වූවා නම් අද රටට මේ වගේ ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නෑ. මේක ඉතා සාර්ථක ව්‍යාපෘතියක්. දැනටමත් ආයෝජකයන් 7 දෙනෙක් ඇවිත් සිටිනවා. ඒ නිසා ඉදිරි වැඩ ටික සාර්ථකව කළ හැකියි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

මේ යෝජනා සම්මත කළා කියලා මහා පිමි පනින්නේ නෑ. එදත් මහා පාරම්බෑවා ආර්ථිකය මහා පිම්මක් පනිනවා කියලා. නමුත් වෙච්ච දෙයක් නෑ. දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව මේ සියලු කටයුතුවල සාර්ථකත්වයට බලපානවා. ජනතා පරමාධිපත්‍ය තහවුරු නැතිනම් ජාත්‍යන්තරය කිසිවිටෙක රටට උපකාර කරන්නේ නෑ.

රටක ඡන්දයක් පැවැත්වීමේ වගකීම තියෙන්නේ ජනපතිට. ඒ වගකීමෙන් ඔහුට ගැලවෙන්න බැහැ. පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් වෙන් කර තියෙනවා. ඡන්දය තියන්න බැරි වුණොත් පළාත් පාලනය අක්‍රීයයි. පළාත් සභාත් දැන් අක්‍රීයයි. පාර්ලිමේන්තුවත් පෙරේදා සිට රූකඩයක් වී තියෙනවා. දැන් සමස්ත රටේම බලය ජනාධිපති යටතේයි තියෙන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා (සජබ) :

වරාය නගර රෙගුලාසිවලට අපේ සහය තිබෙනවා. පෝර්ට් සිටි වැඩපිළිවෙළ ඉදිරියට යායුතුයි. ඒ සඳහා රටේ සියලුදෙනාගේ දායකත්වය අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න මූල්‍ය අරමුදලේ යෝජනා ඉල්ලුවත් දුන්නේ නෑ.

රටේ ආර්ථික අර්බුදයට විසඳුම් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒවා ගෙන්වාගෙන කියවා ගන්න. මූල්‍ය අරමුදලට යන්න කියලා අපි එදා ඉඳලාම කිව්වා. අදත් කියනවා. එදා කිව්වාම අපට විහිළු කළා. දේශීය විසඳුම් තියෙනවා කිව්වා. අන්තිමට කවුරුවත් නැහැ. අයි. එම්. එෆ් එකෙන් සියලු ප්‍රශ්න විසඳන්න බැහැ. ඒ වගේම ඔවුන් නැතිව විකල්පයකුත් නැහැ. අපේ යෝජනාවලිය අපි නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ) :

පෝර්ට් සිටියට අපි එකඟයි. නමුත් එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට එකඟ නෑ. පෝර්ට් සිටියට එන ආයෝජකයන්ට ඕන තරම් කාලයක් බදු සහන දෙන්න තීරණය කරන්න පුළුවන් වෙලා. අද රටේ දේශපාලන ස්ථාවරත්වයක් නෑ. ඡන්දය අවිනිශ්චිත කරලා. නීතියේ ආධිපත්‍යය අවශ්‍යයි. ජනතා විශ්වාසය අවශයයි. දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම :

පෝර්ට් සිටි ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ජනපති උපදෙස් දුන්නා. නව රෙගුලාසි ඉදිරියටත් ඉදිරිපත් කරනවා. වරාය නගරයට ඇතුල් වෙන්න වීසා ගන්න ඕන කියලා එදා කිව්වා. බිල්ලො මැව්වා. ඒත් අද ඒවා බොරු කියලා ජනතාවට පේනවා. වරාය නගරයට ව්‍යාපාර ඇති කිරීමට ඇතුල් විය හැකි පුද්ගලයන් ගෙවිය යුතු වාර්ෂික ගාස්තු ගැන අද ඉදිරිපත් කළ රෙගුලාසිවල ඇතුළත් වෙනවා.

අර්බුදයේ තරම විපක්‍ෂය දන්නවා. අර්බුදයෙන් මිදීමට එකම විසඳුම ආයෝජන ලබා ගැනීම පමණයි. මේ වසරේ රුපියල් බිලියන 1.5ක ආයෝජනවලට යන්න අපේක්ෂා කරනවා.

පාර්ලිමේන්තුව අද (23දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment