වරින්වර නවතා දැමීම නිසා සපුගස්කන්ද පිරිපහදුවේ තාක්‍ෂණික දෝෂ උග්‍රවෙලා

105

සපුගස්කන්ද පිරිපහදුව ඉකුත් කාලයේදී වරින්වර නවතා දැමීමට සිදුවීම නිසා එහි තාක්‍ෂණික දෝෂ උග්‍ර වී ඇතැයි පිරිපහදු කටයුතුවල නිරත සේවකයෝ පවසති.

බොරතෙල් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැති වීම නිසා ඉකුත් මාස කිහිපයේදී තුන් හතර වතාවක්ම පිරිපහදුව සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවිය.

1969 වසරේ ඉදිකළ පිරිපහදුව සම්බන්ධයෙන් වසර විසිඅටකට වගකීම් කාලයක් එය ඉදිකළ සමාගම මගින් ලබා දී තිබූ අතර මේ වන විට එය ඉදිකර වසර 62 ක් ගත වී ඇත.

මාසයකට අධික කාලයක් වසාදමා තිබූ පිරිපහදුවේ කටයුතු ඉකුත් සිකුරාදා (16 වැනිදා) සිට යළි ආරම්භ කළ ද පිරිපහදුවේ 07ණ1 සහ 05-ෑ14 යන අංශවල දෝෂ කිහිපයක් මතු වී ඇතැයි නඩත්තු කටයුතුවල නිරත සේවකයෝ කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කළමනාකරු රාජිත පෙරේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා ද කියා සිටියේ පිරිපහදු කටයුතු ආරම්භ කළත් අදාළ නඩත්තු කටයුතු ද සාමාන්‍ය පරිදි කරගෙන යන බවයි.

ඒ අනුව දැනට භූමිතෙල්, ෆුවල් ඔයිල්, එල්.පී. ගෑස් ආදිය නිපදවන බවත්, දින දහයකින් පසුව පෙට්‍රල් නිපදවීමට හැකිවනු ඇති බවයි. සතියකින් පමණ පසු ඩීසල් නිපදවනු ඇතැයි ද ඒ මහතා කීය.
ශිරාන් රණසිංහ

ලබන වසරටත් සපුගස්කන්දට බොර තෙල් ලෑස්තියි

සපුගස්කන්ද පිරිපහදුවට ලබන වසර සඳහා ද අවශ්‍ය බොරතෙල් ගෙන ඒමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.

බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද පිරිපහදුව නවතා දමා තිබුණු අතර, බොරතෙල් නැව් තුනක් පැමිණි පසු එහි පිරිපහදු කටයුතු පසුගිය සිකුරාදා (17 දා) ආරම්භ කෙරිණි. ලබන පෙබරවාරි වන තෙක් එම නැව් තුනේ බොරතෙල් පිරිපහදු කිරීමේ හැකියාව ඇතැයි පැවසූ එම නිලධාරියා මේ වන විට සපුගස්කන්දේ බොරතෙල් මෙටි්‍රක් ටොන් 2,80,000 ක් ඇතැයි ද කියා සිටියේය.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, එම අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, තෙල් සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් යන මහත්වරුන් බොරතෙල් ගෙන්වන සමාගම් සමඟ සාකච්ඡා කර පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා තවත් බොරතෙල් නැව් 08 ක් ගෙන්වා ගැනීමට කටයුතු අරඹා ඇතැයි ද ඒ මහතා කීවේය.

ආනයනය කරන මෙම බොරතෙල් මෙටි්‍රක් ටොන් 5250 බැගින් පිරිපහදු කිරීමට කටයුතු කරන අතර එමගින් භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන, දැවිතෙල් සහ නැප්තා රට තුළම නිපදවා ගැනීමේ හැකියාව පවතින බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment