වලහාට බියේ වන මැද අතරමංවූ තරුණයා පොලිසිය හා හමුදාව සොයා ගැනේ.

610

තඹලගමුව ඊච්චම්කුලම් වැව් රක්ෂිතය අසල දමා ඇති හරක් පට්ටිය බැලීමට ගිය තම මාමාට හා මස්සිනාට බීමට ජලය රැගෙන ඉකුත් 16 වැනිදා දහවල් ගිය තරුණයෙකු කැලෑව තුළ අතරමංවී සිටියදී පසුදින (17දා) ගම්වාසීන්, පොලිසිය හා තිස්සපුර යුධ හමුදාව එක්ව කළ සෝදිසියකින් සොයා ගෙන ඇත.මෙසේ අතුරුදන්ව සිටියේ තඹලගමුව, යුනිට් 10 සාහුල් රිස්වාන් (අවුඃ22) නමැති තරුණයෙකි. හරක් පට්ටියකට කෑමට තණකොළ ඇති වැව් රක්ෂිතයේ මුදාහැර සිටි හරක් බැලීමට ගිය ඥාතීන්ට වතුර රැගෙන ගිය මොහුට මඟදී මුහුණට මුහුණලා වලසෙකු හමුවී ඇති අතර වලසාට බියෙන් රිස්වාන් පණ එපා කියා කැළය තුළ ඒමේ අත දිව ගොස් ඇත. නැවත ඥාතීන් සිටින දෙසට යෑමට පාර සොයා ගැනීමට ඔහුට අපහසු කාර්යයක් විය. දවස පුරාම අලි ගිය පාරවල් දිගේ ඒමේ අත ඇවිදිමින් පාර සොයා ගැනීමට උත්සාහ කළ මොහුට වටින් ගොඩින් කළුවර වැටෙනවාත් එක්කම මහත් බියක් හිතට දැනෙන්නට විය. වලසා පිළිබඳ මතකය නැවතත් හොල්මන් කරන්නට පටන්ගත් බැවින් වලකින් වතුර ටිකක් බී ගසකට නැග රැය පහන් කර ඇත. මේ සියළු සිදුවීම් අතරතුර ඔහුගේ දුරකථනයද කොහේ හෝ වැටී ඇති බැවින් එය සොයා ඔහු ගමන් ගත් මඟ ඔස්සේ සෝදිසි කරමින් යමින් සිටියදී දුරකථනය හමුවී ඇත.

එදින සවස 4.30 ට පමණ ඔහු ගේ පියාට දුරකථනයෙන් කථා කර ඇති අතර ඔහු ඉන්නා ඉසව්ව විස්තර කිරීමට නොහැකි වූ බැවින් පොලිසියත් ගම්වාසීනුත් යුධ හමුදා නිලධාරීනුත් එක්ව කණ්ඩායම් හයකට බෙදී ගොස් කැළය පීරා ඇත. කිලෝමීටර් 9 ක් පමණ කැළෑව ඇතුළට වෙන්න ප්‍රදේශයකදී එක් කණ්ඩායමකට මොහුව සොයා ගැනීමට හැකිවිය. තඹලගමුව ගම්වාසීන් මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි අතුල කරුණාරත්න, තඹලගමුව පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාකන්දල යන මහත්වරුන් ඇතුළු වැටලීමට සහභාගිවූ සියළු පොලිස් නිලධාරීන්ට හා තිස්සපුර යුධ හමුදා කඳවුරේ නිලධාරීන්ටද නොසෑහෙන සේ ස්තූතිය පුද කරන ලද්දේ කිසිඳු පැකිලීමකින් තොරව මෙම දුෂ්කර කාර්යයට උරදීම වෙනුවෙනි.ඡායාරූපවලින් දැක්වෙන්නේ අතුරුදන්වූ රිස්වාන්, කැළෑව පීරීමට හමුදා පොලිස් නිලධාරීන් හා ගම්වාසීන් හා රිස්වාන් සොයාගත් පිරිස සමග රිස්වානුත්ය.

කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment