වලානෙන් වටලා මාස 2 යි – අම්බලන්තොට කුඹුරු යායක වැලි කැපූ කල්ලිය තාමත් නිදැල්ලේ

55

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර දහයක පමණ විශාල කුඹුරුයායක නීතිවිරෝධී ආකාරයෙන් වැලි කැපීම් කළ කණ්ඩායමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාලයේ නිලධාරීන් විසින් මාස දෙකකට පමණ පෙර වටලා රුපියල් කෝටි 25 කට අධික වටිනා දේපළ සමග සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණත් ඔවුන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නැතැයි හම්බන්තොට පරිසරය සුරැකීමේ සංවිධානය පවසයි. මෙම වැටලීම 2023 මාර්තු 27 වැනිදා සිදුකර තිබුණි.

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මෙම වැටලීම සිදුකිරීමට මූලිකව කටයුතු කළත් ප්‍රබල දේශපාලන බලපෑමක් නිසා එම සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැළකී ඇතැයි ද එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කැල්ටන් සුද්දා නමැති මෙම ජාවාරම සිදුකළ බව කියන ප්‍රධානියාගේ ගෝලයන් 16 දෙනකු සමග බැකෝ යන්ත්‍ර 07 ක්, ජෙනරේටර් 05 ක්, වතුර මෝටර් කිහිපයක්, ඩීසල් ලීටර් 1000 ක් ලොරි රථයක්, රුපියල් කෝටියක් පමණ වටිනා වැලි තොගයක් වලාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අම්බලන්තොට පොලිසියට භාරදී තිබේ. මෙම ජාවාරම්කරුවන් කණ්ඩායම වැලි කැපීම වෙනත් පුද්ගලයෙකුට අයත් කුඹුරුයායක සිදුකර ඇතත් ඔවුන්ට එරෙහිව නැගීසිටීමට එම ඉඩමේ හිමිකරුද බියවීම නිසා නීතිය හමුවට නොයන බවද එම ප්‍රකාශකයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment