වවුනියාවේ පාසල් සිසුන් වේදනා නාශක පෙති මත්ද්‍රව්‍ය ලෙස ගන්නවා

346

වවුනියාවේ පාසල් සිසුන් හා තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැඩි වීමත් සමගම වෛද්‍යවරුන්ගේ නිර්දේශයකින් තොරව වේදනා නාශක පෙති දියර හා කැස්සට භාවිතා කරන සිරප් වර්ග අලෙවි නොකරණ ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉකුත් 2 දා වවුනියාවේ ඖෂධ වෙළෙඳසැල් වෙත දැණුම් දී තිබේ.

කිසිදු විධිමත් භාවයකින් තොරව ඖෂධ වෙළෙඳ සැල්වලින් ඖෂධ නිකුත් කිරීම නිසා පාසල් සිසුන් හා තරුණ තරුණියන් කිසිදු බාධාවකින් තොරව ඖෂධ වර්ග මිලට ගෙන මත්ද්‍රව්‍ය වශයෙන් භාවිතා කරණ බවට තොරතුරු හෙළි වී තිබේ. ඇතැම් ඖෂධ වෙළෙඳසැල් හිමියන් රු. 25 කට අලෙවි කළ යුතු වේදනා නාශක පෙත්තක් රු. 500 ත් 700 ත් අතර මිලකට අලෙවි කරන බවටද තොරතුරු ලැබී ඇත.

වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් පොලිසියේද සහාය ඇතිව වවුනියාවේ ඖෂධ වෙළෙඳසැල් වැටලීමට ක්‍රියා කරන බවට දැනටමත් පූර්ව දැණුම්දීමක් සිදු කොට ඇති අතර එම වැටලීම්වලදී වරදකරුවන් බවට පත්වන ඖෂධ වෙළෙඳසැල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය බලධාරීන් දැණුම් දී ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment