වසංගතයෙන් පසු ලෝකය! චීනයේ ලයිට් කැපෙද්දී එංගලන්තයේ තෙල් පෝලිම

762

උතුරු දිග චීනයේ පසුගිය දිනක ඇතිවූ විදුලි කප්පාදුව ලෝකයටම ප‍්‍රධාන පුවතක් විය. මේ නිසා කර්මාන්තශාලා වසා දැමූ අතර කාබන්මොනොක්සයිඞ් ආඝ‍්‍රානය වූ සේවකයන් රැසක් රෝහල්ගත කරන්නටද බලධාරීන්ට සිදුවිය. එය විදුලි අර්බුදයේම අතුරුඵලයක් විය. චීනයේ ලයිට් කැපෙද්දී බි‍්‍රතාන්‍යයේ සිදුවූයේ කුමක්ද? පෙට‍්‍රල්, ඞීසල් පෝලිම් නිර්මාණය වීමය. ඉන්ධන පිරවුම්හල් අසල ගනුදෙනුකරුවෝ ගුටිබැට හුවමාරු කරගත්තේ ඉන්ධන බෙදාගැනීමට ගොස්ය. ඉන්ධන අර්බුදය විස`දීම සඳහා හමුදාවේ සහය ලබා ගැනීමටද බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්ටන්ට සිදුවිය. ශීත කාලය එළැඹෙත්ම යුරෝපයේ ගෑස් හා ඉන්ධන මිල වේගයෙන් ඉහළ ගොස් ඇති අතර ඉල්ලූමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි වීම නිසා මේ අර්බුදය ඇතිව තිබේ. ඇමෙරිකාවට පවා තම ඉන්ධන හා ගෑස් සැපයුම් නිසි පරිදි ලබාදීමට නොහැකිවී ඇත. ඉහතින් සඳහන් කළ චීනයේ විදුලි අර්බුදය ඇතිවූයේ ගල්අඟුරු හිඟය නිසාය. ලෝකයේ වැඩියෙන්ම ගල්අඟුරු බලාගාරවලින් විදුලිය ලබාගන්නේ චීනයයි. ලෝකයේ වැඩියෙන්ම ගල්අඟුරු සපයන්නා චීනය වූවත් තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීමද දැන් ප‍්‍රශ්නයක් වී ඇත. චීන අවුල එරටට පමණක් නොව ලෝකයටම බලපාන්නකි. ලෝකයම චීන භාණ්ඩ වැඩියෙන් භාවිත කරන නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑමේ අර්බුදයක්ද මතුව ඇත. කොරෝනා වසංගතය නිසාද භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත. වසර තුනකට පසුව තෙල් මිලද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. මේවා ලංකාවට දැනෙන්නේ සුමට ලෙසනම් නොවේ. විදුලි අර්බුදය නිසා විදුලි බිල්පත වැඩිකිරීමටද චීන රජයේ අවධානය යොමුව තිබේ.

විදුලි අර්බුදය චීනයේ ආර්ථිකයට කෙලින්ම බලපාන නිසා එරට උප අගමැති හැන් සෙන්ග් ගල් අඟුරු සමාගම් වලට උපදෙස් ලබාදී ඇත්තේ හැකි උපරිමයෙන් කටයුතු කර ඉල්ලූමට අවශ්‍ය සැපයුම් ලබාදෙන ලෙසයි.

මේ උප අගමැතිවරයා යටතට රජයේ ගල්අඟුරු සමාගම් පැවරී ඇත. චීනයේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ලබාගන්නේ ගල්අඟුරු බලාගාර වලිනි. විදුලි අර්බුදය හේතුවෙන් 2021 චීන ආර්ථික වර්ධනය 8.2% සිට 7.8% දක්වා පහළ බසිනු ඇතැයි පුරෝකථනය කර තිබේ. මේ වසරේ චීනයේ විදුලි ඉල්ලූම 15% කින් ඉහළ ගොස් ඇතත් ගල්අඟුරු සැපයුම් වැඩිවී ඇත්තේ 5% කින් පමණි. පොසිල ඉන්ධන ක‍්‍රමයෙන් ක්‍ෂය වනවා මිස වැඩිවන්නේ නැත.

චීනයේ විදුලි අර්බුදය නිසා ඇමෙරිකානු සමාගම්ද කලබලයට පත්ව ඇත. මන්ද ඇපල් සමාගමේ සිට එරට ප‍්‍රමුඛ සමාගම් සියල්ල අමුද්‍රව්‍ය ආනයනය කරන්නේ චීනයෙනි. චීන කර්මාන්ත ශාලා අඩපණවූ විට එය කෙලින්ම ඇමෙරිකානු සමාගම් වල යාන්ත‍්‍රණයද අකර්මණ්‍ය කරයි. ඇත්තෙන්ම චීන විදුලි අර්බුදය නිසා එරට මහා මාර්ගවල විදුලි සංඥා පුවරු නිවා දමන්නට සිදුවිය. මෙය ප‍්‍රාන්ත 21 කට බලපෑවේය. චීන මකරාටද විදුලි සැර වැදී ඇත. මේ විදුලි අර්බුදය පවතින්නේ පසුගිය මාර්තුවේ සිට බව විදෙස් මාධ්‍ය කියයි.

චීන අර්බුදය ලෝකයේ සුහුරු ජංගම දුරකථන නිෂ්පාදනයට මෙන්ම වාහන නිෂ්පාදනයටද කෙලින්ම බලපාන්නේය. මන්ද ඔබ අත ඇති කුමන ජංගම දුරකථනයක් වේවා ඒවා තුළ චීන උපාංග ඇත. ඇපල් සමාගමට තම නවීනතම ජංගම දුරකථනය නිපදවන්නටත් චීන සමාගම් නැතිවම බැරිය. චීන සැපයුම් නැත්නම් ඇපල් කටේ හිරවෙයි.

චීනයේ සමහර ප‍්‍රදේශවලට බලපා ඇති නියඟය නිසාද විදුලි අර්බුදයට මඟපෑදී ඇත. ඇත්තෙන්ම චීනය ලෝකයේ විශාලම ජල විදුලි නිෂ්පාදකයාද වන්නේය. නමුත් නියඟයක් ඇතිවූ විට ටර්බයින් කටින් පිඹ කරකවන්නට බැරිය. ඉන්දුනීසියාවේ අධික වර්ෂාවත් කම්කරුවන්ගේ අඩුවත් නිසා එරටින් ගල්අඟුරු ආනයනයට චීනයට බාධා පැමිණ ඇත. රුසියාවේ සිට දුම්රියෙන් ගල්අඟුරු ගෙන ඒමේදී ඇතිවූ ප‍්‍රශ්න මෙන්ම දකුණු අප‍්‍රිකාවේ පසුගිය කාලයේ ඇතිවූ සිවිල් ගැටුම්ද චීන ගල්අඟුරු ප‍්‍රශ්නය උග‍්‍රකර ඇත.

ඇත්තෙන්ම ඉදිරි ශීත කාලයේදී යුරෝපය බරපතල ඉන්ධන හා ගෑස් අර්බුදයකට මුහුණ දෙන බවට දැනටමත් අනාවැකි පලවී ඇත. එය බි‍්‍රතාන්‍යයේ ඇතිවූ ප‍්‍රශ්නයෙන්ම වඩා පැහැදිලි විය. යුරෝපයට ගෑස් සැපයෙන්නේ රුසියාවෙන් හා නෝර්වේ වලිනි. ප‍්‍රධානම සැපයුම්කරුවා රුසියාවයි. ජනපති පුටින් තරහ වුවහොත් යුරෝපයටම සීතලේ ගැහෙන්නට වෙයි. ඇමෙරිකාවටත් යුරෝපයේ අර්බුදය දැනෙන බව පැහැදිලි වන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක ඇවොස් හොස්ටේන් විසින් සිදුකළ ප‍්‍රකාශයක් නිසාය. ඔහු කියන්නේ මෙවර ශීත සමයේද වෙනදාටත් වඩා සීතල වැඩිවුවහොත් යුරෝපයට අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි.

බි‍්‍රතාන්‍යයේ බලශක්ති අර්බුදය තවත් උග‍්‍ර කරමින් එරට ගෑස් සමාගම් තුනක් සිය නිෂ්පාදන කටයුතු නවතා දමා ඇත. ස්වභාවික ගෑස්වල මිල අධික ලෙස ඉහළ යෑම මේ අර්බුදයට හේතුවී ඇත. මේ හේතුවෙන් ලක්‍ෂ 17 කට ගෑස් සපයා ගැනීමේ අර්බුදයක් මතුව ඇත. එසේම බි‍්‍රතාන්‍යයේ තෙල් මිල වසර අටකින් පසුව වාර්තා වූ වැඩිම මිල ලෙස සටහන් විය. ඉන්දන පාරිභෝගිකයන් නිසා පිරවුම්හල් අසල තදබදය උග‍්‍රවිය. බි‍්‍රතාන්‍ය වෛද්‍ය සංගමයේ ප‍්‍රධානී ආචාර්ය ඛාන්ද් නග්පොල් පවසා තිබුණේ මේ අර්බුදය නිසා රෝහල් සේවා පවත්වා ගැනීමත් ප‍්‍රශ්නයක් වන බවයි. වෛද්‍යවරුන් හා අනෙකුත් සේවා සපයන්නන්ට රැකියා ස්ථානවලට පැමිණීමට පවා බාධා ඇති වන බවයි. තෙල් හිඟය සමස්ත රටක්ම අර්බුදයට පත්කරන්නකි. ගෑස් මිල ඉහළ යෑම 2022 තෙක් බලපානා බැවින් බි‍්‍රතාන්‍ය ආර්ථිකයට මෙයින් දැඩි පහරක් එල්ලවන බව එරට මාධ්‍ය කියයි. යුරෝපයේ හා නැගෙනහිර ආසියාවේ ගැනුම්කරුවන් ඉදිරි ශීත කාලය වෙනුවෙන් වැඩියෙන් තම සැපයුම් ඉල්ලූම් කිරීම ගෑස් මිල වේගයෙන් ඉහළ යෑමට ප‍්‍රමුඛ හේතුව වී ඇත. කොරෝනාවෙන් පසු ආර්ථික කටයුතු යථාතත්ත්වයට පත්වන රටවලට මෙය දැරිය නොහැකි ප‍්‍රහාරයකි. ලංකාවේ ගෑස් ප‍්‍රශ්නයටද හේතුව මෙයමය. බි‍්‍රතාන්‍ය ගෑස් සමාගම් බංකොළොත් වන විට ලංකාවේ සමාගම් ගැන කවර කතාද?

මුහුණු පොතේ වීරයන් වීමට උත්සාහ කරන කණ්ඩායම් ලංකාවේ ගෑස් හිඟවන විට ඡායාරූප දමමින් සමස්ත ආර්ථිකයම බංකොළොත්වන බවට වහසිබස් දෙඩූහ. වසංගතයත් සමඟ ලෝකයම අර්බුදයකට පත්ව ඇත. ලංකාවට එයින් මිදිය නොහැකි සේම එය අපට පමණක් සීමා වූවක් නම් නොවේ. බි‍්‍රතාන්‍යයේ භාණ්ඩ මිල ඉහළ ගොස් සුපිරි වෙළෙඳසල්වල රාක්ක හිස්ව ඇත්තේ කවර හේතුව නිසාද? ආහාර මිල වේගයෙන් ඉහළ යයි. මෙය නත්තල් කාලය වනවිට තවත් වැඩිවිය හැකි බව බි‍්‍රතාන්‍ය ගාර්ඩියන් පුවත්පත වාර්තා කර තිබිණි. එවන් තත්ත්වයක් තුළ ලංකාව මෙපමණකින් බේරී සිටීම කොතරම් අගනේද? කිරිපිටි ලබා ගැනීමට නම් පෝලිමක් ඇත. එය මහා අවුලක් නම් නොවේ. රාජ්‍ය සේවක වැටුප් විශ‍්‍රාම වැටුප් ගෙවා කොරෝනා වෙනුවෙන් බිලියන ගණනින් වැයකරමින් මේ ආකාරයට හෝ රට පවත්වාගෙන යෑම ගැන සැබවින්ම සතුටු විය යුතු නොවේද? ඉන්දියාවේ මෙන් රෝගීන් රෝහල් දොරටු අසල මැරී වැටුණේ නැත. සමහරු එය ප‍්‍රාර්ථනා කළහ. සෞඛ්‍ය සේවයේ සිටින තක්කඩි වෘත්තීය සමිති කිහිපයක්ම කටයුතු කළේ සියල්ල අවුලට දැමීමටය. හමුදාව එන්නත්කරණය සඳහා යොදවන විටද කලබල වූ පිරිසක් විය. නමුත් මේ වන විට රටේ ජනගහනයෙන් 60% ක් පමණ පූර්ණ එන්නත්කරණය කර තිබීම ජයග‍්‍රහණයක් නොවේද?

ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම් වලින් මෙරටට මිදිය නොහැක. එනිසා හැකි පමණින් ආනයන සීමා කළ යුතුය. සංචාරකයන් නැවත ගෙන්වා ගැනීම වේගවත් කිරීම වැදගත්ය. සංචාරක කර්මාන්තයෙන් රටට ලැබුණු ඩොලර් බිලියන 05 කට අධික මුදල නොලැබීම බොහෝ අර්බුදවලට හේතුවකි. නමුත් දිනෙන් දින අපනයන ආදායම් වර්ධනය වී ඇත. එය පැසසිය යුත්තකි. යට ඇඳුම් ආනයනය සඳහා සීමා පනවන විට පිරිසක් පරල විය. ඒ රට අරාජික වී කොරෝනා මිනී පාර පුරා වැටී තිබෙනු අපේක්‍ෂා කළ පිරිසකි. නමුත් මේ ආනයන සීමා අගය කළ යුතුය. එය රට හරිමගට ගැනීමකි. ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇතිවන බවට ප‍්‍රකාශ කළ පිරිසට දකින්නට ලැබුණේ එංගලන්තයේ තෙල් පෝලිමකි. නිරෝධායන ඇඳිරි නීතිය දික්කරන්නේ ඞීසල් හිඟ නිසා බවත් කටමැන දෙඩවූ පිරිසක් විය. එහෙත් දැන් රට විවෘතය. විපක්‍ෂයේ කණ්ඩායම් ප‍්‍රකාශ කළ අරාජිකත්වය පෙනෙන්නට නම් නැත. එහෙත් ඉදිරියට පටි තදකර ගැනීමේ කාලයක් එන බව නම් විශ්වාසය. එය අපට පමණක් නොවේ. ඔස්ටේ‍්‍රලියාවේ පවා පෝලිම් යුගයක් ඇතිව තිබේ. ලොව උස්සා පොලොවේ ගැසූ කොරෝනාවේ සැබෑ ප‍්‍රතිඵල ඉදිරියට සියලූ මනුෂ්‍ය ප‍්‍රජාවටම අත්වි`දින්නට සිදුවන බව පැහැදිලිය. එය මේ දූපත්වාසීන්ට පමණක් උරුමවූවක් නොවේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment