“වසංගතය තිබුණත් අපි අපේ යුතුකම ඉටුකළා” – නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර

220

අපි රටට අහිතකර දෙයක් කරන්නේ නෑ!


කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ද නාගරික සංවර්ධන අධිකාරිය සිදුකරගෙන යන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දැනගැනීම සඳහා දිවයින ඉරිදා සංග‍්‍රහය එම අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර මහතාව මුණගැසුණෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – ගෝලීය වසංගතයක් සමඟ නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යභාරය කේසේද?

පිළිතුර – නාගරික සංවර්ධන අධිකාරිය වසංගතය කියල කිසිම වෙලාවක වැහුවෙ නැති ආයතනයක්. අපි දිගටම වැඩ කළා. සෞඛ්‍ය නීතිරීතිවලට ගරු කරමින් 1800ක් වූ කාර්ය මණ්ඩලය අඩුවෙන් ගෙන්වුවත් අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය හැමවෙලාවෙම වැඩ කළා. මොකද අපේ ව්‍යාපෘති අතරමග නතර කරන්න බැරි ඒවා. යම් කාලසීමාවක් තුළදි ඒවා අවසන් කළේ නැත්නම් ඒ වෙනුවෙන් අදාළ කොන්ත‍්‍රාත්කරුවන්ට අපට අලාභ ගෙවන්න වෙනව. ඒ නිසා කොරෝනා හින්ද අපි අකාර්යක්ෂමව වැඩ කරල නෑ. අපි නොකඩවා කාර්යක්ෂමව නිසි පරිදි අපේ සැලසුම් ක‍්‍රියාත්මක කර තිබෙනවා. අපට පැවරුණ නොයෙක් සංවර්ධන කාර්යයන් තියෙනව. එතනදි වැදගත් දෙයක් තමයි නිවාස ප‍්‍රශ්නය. ඒ වෙනුවෙන් සිදුකරන ඉදිකිරීම් කිසිවිටෙකත් නතර කරන්න බෑ. ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර් කැඳවන්න ඕන. අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති, මධ්‍ය ආදායම්ලාභීන් ඉලක්ක කරගත් නිවාස ව්‍යාපෘති ඒ අතර ප‍්‍රධානයි.

මධ්‍ය ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතියෙදි දරාගත හැකි මිලකට නිවසක් සැපයීමට විශේෂයෙන්ම අවුරුදු 30-40 අතර වයසෙ ඉන්න අයට තම වැටුපට ගැළපෙන ආකාරයෙන් නිවාසයක් ලබාදීමට තමයි අපි ක‍්‍රියාකරන්නෙ. එවැනි නිවාස 5000ක ඉලක්කයක් තියෙනව. මේ වෙද්දි 3000කට ආසන්න නිවාස ව්‍යාපෘති ආරම්භ කරල තියෙනව. 2023 ජුනි වෙද්දි මේ නිවාස 5000ම ඉදිකරල නිම කිරීමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට නිවාස 20000ක් ඉදිකරන්න සැලසුම් කරල තියෙනව. ඊට අමතරව අනුරාධපුර, මහනුවර, කතරගම තැන්වල පැරැණි නගර සහ ආගමික වැදගත්කමක් ඇති නගරවල නොයෙක් ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනව. උදාහරණයක් ශ‍්‍රී මහා බෝධියෙ ඉඳල රුවන්වැලිසෑයට ගමන් කළ හැකි පාරක් අපි සකස් කරල තිබුණ. දැන් අපි ඒක රුවන්වැලිසෑයෙ ඉඳල ථූපාරාමයට, අභයගිරියට යන්න පුළුවන් ආකාරයට දීර්ඝ කරල තියෙනව. ඉදිරියෙදි අපි බලාපොරොත්තුවෙනව කෙනකුට ඇවිත් රථ ගාලෙ තමන්ගෙ මෝටර් රථය නවත්වල අනුරාධපුරයෙ අටමස්ථාන වන්දනාමාන කරන්න, සෙළොස්මස්ථාන වන්දනා කරල එන්න පුළුවන් විදිහේ ප‍්‍රවාහන සේවයක් ආරම්භ කරන්නත්. මහනුවර දළදා මාළිගාව, කතරගම වැනි ස්ථානවලත් එවැනි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනව.

ජනාධිපතිතුමාගෙ සෞභාග්‍යයේ දැක්ම අනුව සෑම දිස්ත‍්‍රික්කයකම නගර හතර බැගින් වර්ෂයකට සියක් නගර ව්‍යාපෘතිය ආරම්භ කරල තියෙනව. ඒකෙන් තෝරාගත් නගරයකට මිලියන 20ක් වෙන් කරල නගරය අලංකාර කිරීම තමයි වෙන්නෙ. දැන් ඒ ව්‍යාෘාති ආරම්භ කරල තියෙනව. අදාළ ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචිවෙලා ඉන්න කොන්ත‍්‍රාත්කරුවන්ට තමයි ඒ ව්‍යාපෘති ලබාදෙන්නේ. හැබැයි සැලසුම් අපෙන්.

ප‍්‍රශ්නය – සියක් නගරය වැඩසටහන සම්පූර්ණ වෙන්න තව කොච්චර කාලයක් ගතවෙයිද?

පිළිතුර – මේ වසරේ මැද භාගයේ අපි පටන්ගත්තෙ. වසර අවසන් වෙද්දි මේ වසරට ඉලක්ක කරපු නගර ටික සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනව. ඒ එක්කම 2022දි තවත් නගර සීයක් වැඩිදියුණු කරන්න කටයුතු කරනව.

ප‍්‍රශ්නය – වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි කාලයේ පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ වැඩපිළිවෙළ මොනවගේ තැනකද මේ වෙද්දි තියෙන්නේ…?

පිළිතුර -ගෝඨාභය ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටියදී කොළඹ නගරයේ විතරක් පැල්පත්වාසීන් 68000ක් විතර හිටිය. මේ වෙද්දි ඒ ප‍්‍රමාණය 20000කට පමණ අඩුවෙලා තියෙනව. ඉදිරියෙදි ඒ ප‍්‍රමාණයටත් නිවාස ලබාදීමට කටයුතු කරනව. මේ ව්‍යාපෘතිය හරහා රජයට යම්කිසි ඉඩම් ප‍්‍රමාණයක් අත්පත්වෙනව. ඒ ප‍්‍රමාණය ඉදිරියෙදී විවිධ ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනව.

ප‍්‍රශ්නය -ඇවිදින මන්තීරු හින්ද මෑතකදී සමාජය තුළ විශාල ආන්දෝලනයක්, කතාබහක් ඇති වුණා. විශේෂයෙන් පරාක‍්‍රම සමුද්‍රය ආශ‍්‍රයෙ ඉදිකිරීමට උත්සාහ කරපු ඇවිදින මන්තීරුව තමයි දැඩිව කතාබහට ලක්වුණෙ. එතනදි නාගරික සංවර්ධනයට සෘජුව චෝදනා එල්ලවුණා.

"වසංගතය තිබුණත් අපි අපේ යුතුකම ඉටුකළා" - නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර

පිළිතුර -ඇවිදින මන්ත‍්‍රීවරු සංස්කෘතිය ආරම්භ කළේ 2009දි. ඒ කොළඹ නිදහස් චතුරශ‍්‍රය ආශ‍්‍රයෙන් තනපු මංතීරුත් එක්ක. ඊට පෙර තිබුණ තත්ත්වය තමයි ඇති හැකි අය ගෝල්ෆේස් එක වගේ තැනකට ගිහින් ඇවිදින එක, ව්‍යායාම කරන එක. ඒක එක පැළැන්තියකට විතරයි සීමාවෙලා තිබුණෙ. කොහොම වුණත් ඇවිදින මංතීරු ඉදිවීමත් සමග මිනිස්සු තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න පටන් ගත්ත. ඒ විතරක් නෙමෙයි ඉස්පාසුවක් නොතිබුණු ජීවිතවලට යම් මානසික සුවයක් ඒකෙන් ඇතිවුණා. යහළු මිත‍්‍රාදීන් එකට හමුවෙන තැනක් බවට මේ මංතීරු පත්වුණා. කොළඹ අවට සීමාවෙලා තිබුණු මේ සංස්කෘතිය දැක්ක අනෙක් පළාත්වල අයත් මේ වගේ මන්තීරු තනා දෙන්න කියල ඉල්ලනව. ඒ අනුව මේ වර්ෂය ඇතුළතදී එවැනි මන්තීරු 30ක් සෑම ප‍්‍රදේශයක්ම නියෝජනය වන පරිදි තෝරගත්ත. ඇවිදින මංතීරු කියන්නෙ මේවෙද්දි අපේ සෞඛ්‍යයට කළ ආයෝජනයක්. සිරුරු වෙහෙසන ක‍්‍රියාවන්ගෙ යෙදෙන්නෙ නැති බොහෝ දෙනාට තිබුණු දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් වැනි බෝ නොවන රෝග මේ ඇවිදීම මන්තීරු නිසා අද පාලනයවෙලා තියෙනව. පොළොන්නරුවට ආවොත්, පරාක‍්‍රම සමුද්‍රය අවට විශාල පිරිසක් වැවේ සිරි නරඹන්න එනව. හැබැයි ඒ අයට පරිසර සිරි විඳින්න තියෙන්නෙ වැම් බැම්ම උඩ ඉදන්. ඒ උඩ ට‍්‍රැක්ටර්, ලොරි යනව. ඒක මේ සොබා අසිරිය විඳින අයට යම් අවදානමක් ගෙන එනව. ඒ නිසා ඒ ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව අපෙන් ඉල්ලීමක් කළා ඇවිදින මන්ත‍්‍රීරුවක් හදල දෙන්න කියල වැවේ සිරි නරඹන්න එන අයගෙ සුවපහසුව වෙනුවෙන් කියල. ඒ අනුව තමයි ඇවිදින මන්තීරුව හදන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාරදුන්නෙ. ඒ ඔවුන්ට වැව පිළිබඳ හොඳ දැනුමක් තියෙන නිසා.

ප‍්‍රශ්නය -මෙහි මුල් සැලැස්මෙ තිබුණද වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්ම මේ කටයුතු කරනව කියලද?

පිළිතුර -ඔව්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක මේ ගැන අපි කතා කරද්දි ඔවුන් එකඟවුණා මේ දේ කරන්න. ඒ අනුව තමයි අපි ඔවුන්ට මුදල් වෙන් කළේ. මේ සැලසුමේදි සංස්කෘතික අමාත්‍යාංශයේ ප‍්‍රාදේශීය නිලධාරීන්ගේ, දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරීන්ගේ, ප‍්‍රදේශයේ දිසාපති ඇතුළුද හැමදෙනාගෙම අනුමැතිය ඇතිවයි ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළේ. ඒත් යම් පිරිසක් මේකට විරෝධය පළ කළා. අපි ඔවුන්ව දැනුවත් කරන්න උත්සාහ කළා නාගරික සංවර්ධන අධිකාරිය කිසිම වෙලාවක රටට අහිතකර දේවල් කරන්නෙ නෑ කියල.

ප‍්‍රශ්නය -විරෝධතා නිසා පරාක‍්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු හදන වැඬේ අත්හැරියද?

පිළිතුර -මේ විරෝධතාව රට තුළ වැව් ඇසුරේ කරන ව්‍යාපෘතිවලට යම් යම් බලපෑම් කරන්න පටන් අරන් තියෙනව. ඒ නිසා විරෝධතාකරුවන් එක්ක තර්ක කර කර ඉන්න එක පළක් නෑ. රටේ සංවර්ධනය කළ යුතු තවත් තැන් තියෙනව. ඒ අවශ්‍යතාවන් වෙනුවෙන් ඉදිරියෙදි කටයුතු කරනව.

ප‍්‍රශ්නය -ඔබ පැවැසුවා රටේ සම්පත් විනාශ කරන්නෙ නෑ කියල. නමුත් සෙලන්ඩිවා හරහා රටේ සම්පත් විකුණන්න උත්සාහ කරනවා කියල යම් චෝදනාවක් නැගෙනවා.

පිළිතුර -සෙලන්ඩිවා කියන්නෙ රජයෙ දේපල යම් ආකාරයකින් ආයෝජනය කරනවා නම් ඒ සඳහා කටයුතු කරන ආයතනයක්. මේ ආයතනයෙ මහා භාණ්ඩාගාරයෙ නිලධාරීන් දෙදෙනෙක් ඉන්නව. මෙවැනි ආයතනයන් නිසා ආයෝජකයන් මෙරටට ගෙන්වා

ගැනීමට පහසුයි. එසේ නොමැතිව ඒ හරහා රටේ සම්පත් විකුණන්නේ නැහැ. කරුණු හරිහැටි නොදැන තමයි ඒ සම්බන්ධයෙන් බොහෝ අය චෝදනා එල්ල කරන්නේ.

ප‍්‍රශ්නය – මේ වෙද්දි අපේ රටට ආයෝජකයො එන්නෙ නෑ. එවැනි පසුබිමක ප්‍රෙශ්නය – නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඉතා වටිනා සම්පත් බොහොමයක් තියෙනව. මෑතකදි සාකච්ඡාවට ලක්වුණු කරුණක් තමයි වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගිහින් ඒ බිම ආයෝජනයන් සඳහා භාවිත කරනබව. එතනදි ඒ බිම චීනයට විකුණන්න යනව කියල විශාල විරෝධතාවක් ආව. ඇත්තටම වැලිකඩ බන්ධනාගාර භූමියත් චීනට දෙනවද?

පිළිතුර -වැලිකඩ බන්ධනාගාරය මේ අවස්ථාවෙ ඉන්න ඕන රැඳවියන් පිරිසට වඩා හතර ගුණයක් ඉන්නව. අක්කර 38ක බිම් ප‍්‍රදේශයක තමයි මේ බන්ධනාගාර භූමිය පැතිරිල තියෙන්නෙ. ඒකෙ බන්ධනාගාර නිලධාරීන්ගෙ නිල නිවාසත් තියෙනව. හොරණ මිල්ලෑව ප‍්‍රදේශයේ අක්කර 500ක ඉඩ ප‍්‍රමාණයක් තියෙන භූමියක් තියෙනව. ඒ භූමිය වෙත වැලිකඩ බන්ධනාගාරය ගෙනිච්චොත් රැඳවියන්ට ඇතිවන අපහසුතා මගහරවා ගෙන ඒ කාර්යය වඩා විධිමත් කරන්න පුළුවන්. විශේෂයෙන් රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ පහසුකම් පවා මිල්ලෑව මේ භූමිය තුළදිම කරගන්න පුළුවන්. දැනට වැලිකඩ තියෙන අක්කර 38ක භූමිය යම් ආයෝජකයකුට ලබාදීල ඒ ලබාදෙන මුදලින් බන්ධනාගාර ඉදිකිරීමට තමයි සැලසුම තියෙන්නේ.

ප‍්‍රශ්නය -ඒ භූමිය ලබාදෙන නිශ්චිත ආයෝජකයෙක් පිළිබඳ මේ වෙද්දි තීරණය කරල තියෙනවද?

පිළිතුර -දැනට අපි ආයෝජන භූමියක් විදිහට තමයි ඒක නම් කරල තියෙන්නෙ. ඉදිරි පියවරවලට යන්න නම් පළමුව බන්ධනාගාරය ඒ භූමියෙන් ඉවත් කරගත යුතුයි. ඒ වගේම අපි ගාළු කොටු බැම්ම ප‍්‍රතිසංස්කරණය කරල එහි තිබූ අතීත ශ‍්‍රී විභූතිය ඒ විදිහටම කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කරල තියෙනව.

ප‍්‍රශ්නය -මේ හැම සංවර්ධන කටයුත්තකටම අවශ්‍ය පරිදි මුදල් නාගරික සංවර්ධන අධිකාරියට තියෙනවද?

පිළිතුර -සමහර ව්‍යාපෘති රජය විසින් මුදල් වෙන්කරල තියෙනව. ඇතැම් ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය මුදල් යොදවා කරන ව්‍යාපෘති. ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන මුදල්වලින් සිදුකරන ව්‍යාපෘති තියෙනව. මේ තියෙන ව්‍යාපෘති මේ වසර ඇතුළත කරගෙන යන්න තරම් තියෙන මුදල් ප‍්‍රමාණවත්. මේ සංවාදය අවසාන කරන්න කලින් විශේෂ දෙයක් කියන්න ඕන. ඒ තමයි වසර 40 සමරන ‘දිවයින. පුවත්පතට මම සුබපතනව. මම හරිම කැමැති පුවත්පතක් තමයි ‘දිවයින. කියන්නෙ. විශේෂයෙන් ගවේෂණාත්මක පුවත්පත් කලාවක් දැක්කෙ මම ‘දිවයින. පත්තරෙන්. දාන්නන් වාලෙ ප‍්‍රවෘත්ති දාන්නෙ නැතිව ලැබෙන පුවත හොඳින් විශ්ලේෂණය කරල තමයි ‘දිවයින. පුවත් පළ කරන්නෙ. ඒ වගේම උගත්, බුද්ධිමත් මාධ්‍යවේදීන් පිරිසකගෙන් සමන්විත ආයතනයක්. මම හමුදා ප‍්‍රකාශකව සිටි සමයෙ ‘දිවයින. එක්ක ඉතා ළඟින් වැඩ කළ නිසා මම ඒක දන්නව. ඔවුන් සියලූ දෙනාටම දීර්ඝ ගමනකට සුබපතනව.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment