වසන්ත මුදලිගේ උසාවි ගේන්න

213

ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන ඇයි – විනිසුරු මඬුල්ල නීතිපතිගෙන් විමසයි
සාක්‍ෂි හෙළිකරගන්න පෙර රඳවා ගැනීම මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් – විනිසුරු මඬුල්ල කියයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග භාරයේ තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම කරාපිටිය රෝහලේ අධිකරණ වෛi නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10දා) පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන 2022.08.21 වැනිදා සිට මාස තුනක කාලයක් රඳවා තබා ගැනීමට ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගය අභියෝගයට ලක්කරමින් වසන්ත මුදලිගේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන් විජිත් කේ. මලල්ගොඩ හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

පෙත්සම්කාර වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට රැඳවුම් නියෝග ලබාදී ඇත්තේ ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට කුමන හෝ සාක්‍ෂියක් ඉදිරිපත් වීමෙන් අනතුරුව දැයි නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතාගෙන් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා විමසා සිටියේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට පැහැදිලි සාක්‍ෂි අනාවරණය වී නොතිබියදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව තම අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛන හා තොරතුරු අනුව පැහැදිලි වන බව ද විවෘත අධිකරණය හමුවේදී පැවසූ සභාපති විනිසුරුවරයා විමර්ශනවලින් අනතුරුව පෙත්සම්කරු කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවුණ නිර්දෝෂී පුද්ගලයකු බවට අනාවරණය වුවහොත් ඔහුට සිදුවූ හානියට වන්දි ගෙවන්නේ කවුරුන් දැයි නීතිපතිවරයාගෙන් විමසා සිටියේය.

සාක්‍ෂි අනාවරණය කරගැනීමකින් තොරව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ ක්‍රියාවලිය පෙත්සම්කරු සතු මූලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය කිරීමක් වන බව තම අධිකරණයට බැලූ බැල්මට පෙනී යන බැවින් එකී පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තම අධිකරණය අවසර ලබාදෙන්නේ යැයි ද විනිසුරු මඬුල්ල දැනුම් දුන්නේය.

පොලිසිය ඉදිරිපත් කරනු ලබන ලේඛනවල හා පොලිසිය කියන කරුණු සම්බන්ධයෙන් පසු විපරමක් සිදුනොකර කෙළින්ම තම අධිකරණය හමුවේ ප්‍රකාශ නොකරන ලෙසට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතාට අවවාද කළ සභාපති විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා තම අධිකරණය රටේ පවත්නා නීතිය අනුව දෙපාර්ශ්වයට යුක්තිය ඉටුකිරීම සිදුකරන අධිකරණයක් වන්නේ යැයි ද සඳහන් කළේය. ආරක්‍ෂක අමාත්‍යවරයා පොලිසියේ රබර් මුද්‍රාවක් බවට පත්වී නිසි පසු විපරමකින් තොරව ඔවුන් ඉල්ලා සිටින පරිදි රැඳවුම් නියෝග නිකුත්කර ඇතැයි පෙත්සම්කාර වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විනිසුරු මඬුල්ලට පැවැසීය.

එම පෙත්සම්කරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ඉල්ලීම ආරක්‍ෂක ලේකම්වරයා වෙත සෘජුව ඉදිරිපත් කොට ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වන බැවින් ඔහුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබාදෙන ලෙස ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අධිකරණය එම ඉල්ලීමට අවසර ලබා දුන්නේය. එම පෙත්සම සම්බන්ධයෙන් විභාගය ලබන ජනවාරි 31 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර එකී රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වල සිරිධම්ම හිමියන් හා හෂාන් ජීවන්ත ගුණතිලක විසින් ඉදිරිපත් කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සලකා බැලීම සඳහා ලබන දෙසැම්බර් 13 වැනිදා කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ.

නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් සමඟ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment