වසන්ත මුදලිගේ ත්‍රස්ත පනතේ හිරකරන්න කරපු වරද මොකක්ද?

233

අන්තරේ වැඩ බලන කැඳවුම්කරු කියයි

අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ සහෝදරයාට ත්‍රස්ත පනත දාලා හිර කරන්න හදනවා. එම ත්‍රස්ත පනතක් දාන්න ඔහු මොනවද මේ රටට කරලා තියෙන්නේ. වසන්ත ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් හඬනැගුවේ බඩු මිල පහත හෙළන්න, ජනතාවගේ මූලික අවශ්‍යතා ටික සපයන්න, මර්දනය නතර කරන්න කියල. යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු ‘දිවයින’ට ඊයේ (19 වැනිදා) පැවසීය.

“ජනතාව තළා පෙළන දුර්දාන්ත ආණ්ඩුව පන්නනතුරු අපේ අරගලය නතර වන්නේ නෑ යැයි ද හෙතෙම කියා සිටියේය.

පෙරේදා (18 වැනිදා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට කොළඹ යුනියන් පෙදෙසේදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම හා එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 21 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වීම ගැන විමසූ අවස්ථාවේ ඔහු එසේ කීය.

මෙහිදී තවදුරටත් කතාකළ වැඩබලන කැඳවුම්කරු වන ටෙරන්ස් රුද්‍රිගු මෙසේ ද කීය.

නිරායුධව ඇවිත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කියමින් විරෝධය පාන ලද ශිෂ්‍යයන්ට තමයි පොලිසිය පහර දුන්නේ. අපේ සහෝදරවරුන්ට, සහෝදරියන්ට පන්න පන්නා ගැහුවා විතරක් නෙවෙයි ඔවුන්ව බිම දිගේ ඇදගෙන ගියා. බඩු මිල පහත හෙළන්න, ජනතා මර්දනය වහාම නතර කරන්න, නිකරුණේ අත්අඩංගුවට ගත් අරගලකරුවන් වහා නිදහස් කරන්න කියලයි අපි විරෝධය පෑවේ. දැන් අත්අඩංගුවට අරන් තියෙන වසන්ත මුදලිගේ සහෝදරයාට ත්‍රස්ත පනත දාලා හිරකරන්නයි හදන්නේ. එතකොට නඩු දාන්නේ නැතුවම අවුරුදු දෙක තුනක් හරි හිරකරගෙන ඉන්න පුළුවන්නේ. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගපු ශිෂ්‍ය ක්‍රියාකාරීන් හිරකරන්නයි මේ රනිල් ආණ්ඩුව හදන්නේ. රනිල් ගැටලු විසඳනවා වෙනුවට කරන්නේ මර්දනය කරන එකයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment