වසරකට අවශ්‍ය සේලයින් බෝතල් එක්කෝටි අසූ ලක්ෂයක් දේශීයව නිපදවයි

172

මෙරට රෝහල්හි භාවිතය සඳහා වසරකට අවශ්‍ය සේලයින් බෝතල් එක්කෝටි අසූ ලක්ෂයක ප‍්‍රමාණය දේශීයව නිපදවීම ආරම්භ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ලේබලය යටතේ නිෂ්පාදනය කරන ලද පළමු සේලයින් තොගය එහි සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා නිල වශයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (06දා) බාර දුන්නේය.

 මහනුවර, පල්ලේකැලේ කර්මාන්තපුරයේ කැලූන් ලයිෆ් සයන්සස් ආයතනය සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග වූ ගිවිසුමට අනුව නිපදවන මෙම සේලයින් පසුගිය 01 වැනිදා සිට රාජ්‍ය අංශය වෙත සේලයින් සැපයීමට සිදුකරනු ලබයි. මෙහි වසරකට සේලයින් බෝතල් කෝටි හතරකට අධික ප‍්‍රමාණයක් නිපදවීමට පහසුකම් ඇත.

 ඒ අනුව රජයේ රෝහල්වල සේලයින් අවශ්‍යතාව මෙමඟින් 100% ක් සපිරෙන අතර අතිරික්තය පෞද්ගලික අංශයට යොමු කිරීමට බලාපොරොත්තු වේ.

 පළමු සේලයින් තොගය භාරදීමේ අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ඞී. ආර්. කේ හේරත් මහතා අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. කේ. වික‍්‍රමනායක මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සහභාගි වූහ.

 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment