වසරකට කෝටි 3 ක් කාබාසිනියා කළ රිදියගම සෆාරි බස් ගිවිසුම අහෝසියි

806

රිදියගම සෆාරි උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කැඳවා තෝරාගත් පෞද්ගලික බස් සමාගමකින් ලබාගත් බස් රථ 3ක් සඳහා වසරකට තුන්කෝටි දහ අටලක්ෂ හැත්තෑහත්දහස් නවසිය විසි අටක් (31,877,928) ගෙවීමට සිදුවීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි එය නතර කර දැමීමට ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම පෞද්ගලික බස් සමාගමට 2019/08/10 සිට 2022/08/09 දින දක්වා බස් රථ 6ක් ධාවනය කිරීමට ටෙන්ඩර් කැඳවා අවසර ලබාදී තිබිණි. එම කාලයේදී එක් බස් රථයක් සඳහා දිනකට ගමන් වාර 8ක් වෙනුවෙන් මසකට රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන්දහස් හාරසිය දහයක් ගෙවා ඇත. කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු ලබාගන්නා බස් රථ සංඛ්‍යාව තුනකට සීමාකර නැවතත් ටෙන්ඩර් කැඳවා අදාළ බස් සමාගමටම එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති අතර සති අන්තයේ සහ නිවාඩු දිනවල පමණක් ධාවනය කිරීම වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවී ඇත.

එහිදී එක් බස් රථයක් සඳහා මසකට රුපියල් නව ලක්ෂ පහළොස්දහස් හාරසිය අනූ අටක මිලක් ඉදිරිපත් කර තිබූ අතර එය පෙර වසරට වඩා තුන් ගුණයක වැඩිවීමකි. පසුව එම බස් සැපයුම් ආයතනය සමග සාකච්ඡා කොට බස් රථයක් සඳහා ගෙවන මුදල රුපියල් 30,000කින් අඩු කරගත්තත් ඒ සඳහා වසරකට රුපියල් 885,498ක් ගෙවීමට සිදුවී ඇත. ඒ අනුව අදාළ ආයතනයට වසරකට එක් බස් රථයක් සඳහා රුපියල් 10,625,976ක් ගෙවීමට සිදුවී ඇත. බස් රථ තුනක් සඳහා වසරකට ගෙවිය යුතු මුදල රුපියල් 31,877,928කි. ඒ අනුව දිනකට බස් රථයකට ගෙවිය යුතු මුදල රුපියල් 88,549කි.

සෆාරි උද්‍යානයේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් බස් රථවලට ගෙවීමට සිදුවීම නිසා උද්‍යානයේ සිටින සතුන්ගේ ආහාර සහ අනෙකුත් වියදම් සඳහා මුදල් සොයාගැනීමට අපහසු වීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතු වාහන අලුත්වැඩියා කර යෙදවීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අකිත පෙරේරා සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment