වසරකට රුපියල් කෝටි ලක්ෂයක් ගිලින සුදු අලි

188

විකුණුවත් ජනතාවට සැනසීමක් නැති රාජ්‍ය ආයතන

ප්‍රතිව්‍යුහගතකරණයට දේශීය සමාගමක්

වසර විස්සක් වැරදි පෙන්වා දුන්නත් හැදෙන්නැති රාජ්‍ය ආයතන

අපේ පැරණි ජනවහරේ එන කියමනක් තිබේ. ඒ ළිඳේ වැටුණු එකා ළිං කටෙන්ම ගොඩ ආ යුතු බවයි. අප රට දැන් වැටී ඇත්තේ ළිඳකට නොව මහා පාතාලයකටය. වැටී ඇත්තේ කිව්වාට වැටී ඇත නොව පාලකයන් බලෙන්ම අපව වැට්ටුවාය කිව්වොත් වඩාත් නිවැරදිය. ආණ්ඩුව මේ පාතාලයට අපව වැට්ටුවේ කිසිදු ඉවක් බවක් නැතිව ලෝකයේ හතරදිග් බාගයෙන්ම ණය ගත් නිසාය. රාජ්‍ය ආයතනවලට පොකුරු පිටින් සේවකයන් පිරවීම හා කෝටි ගණන් කොමිස් ගැසූ නිසාය. දැන් සූදානම් වන්නේත් තව තවත් ණය ගෙන තව තව පතුලටම වැට්ටවීමටය. කෙසේ හෝ මේ ළිං කටෙන් ගොඩ ඒමට ආණ්ඩුව උත්සාහ කරන්නේ රජය සතුව මේ වනවිට ඉතිරිව තිබෙන රාජ්‍ය ආයතන ටික විකිණීමෙනි. එය කොතරම් දුරට සාර්ථක වේදැයි කියා ජනතාවට දැකබලාගත හැකිවනු ඇත.

ඒ කෙසේ වෙතත් ආණ්ඩුව විසින් විකිණීමට සූදානම් වන රාජ්‍ය ආයතන අතර පාඩු ලබන රාජ්‍ය ආයතන මෙන්ම ලාභ ලබන රාජ්‍ය ආයතනද වේ. ආණ්ඩුවේ තර්කය වන්නේ රජය ව්‍යාපාර කටයුතු නොකළ යුතු බවයි. නමුත් විදුලිය, ඉන්ධන වැනි බලශක්ති ප්‍රභවයන්හි බලය පෞද්ගලික අංශයට හෝ විදෙස් රටවලට නතුවීමේ අනතුර මේ වනවිට නොතිබුණත් පෙර මෙන් රට යුදමය අවස්ථාවකට මුහුණ දීමට සිදුවන අවස්ථාවක් වුවහොත් එම පාර්ශ්වයන්ගේ අනුමැතිය, ගැනීමට සිදුවුවහොත් තත්ත්වය බරපතළ විය හැක.

එල්ටීටීඊ යුද්ධයේ අවසාන කාලයේදී විදෙස් රටවලින් මෙරටට මොනතරම් බලපෑමක් එල්ල වූවාද. ඒ වනවිට මෙරට බලශක්ති ප්‍රභවයන්, සන්නිවේදනය හා ආර්ථික මර්මස්ථානයන්හි හිමිකාරීත්වය ඉන්දියාව හෝ ඇමරිකාව වැනි රටක් සතු වූයේ නම් අපට කිසිදා මෙවන් යුද්ධයක් ජයගත නොහැකි වනු ඇත.

මේ කිසිදු රාජ්‍ය ආයතනයක් අපේ වරදින් පාඩු සිදු වූ ඒවා නොවන බව පාලකයන් තදින්ම දැනගත යුතුය. කිසිදු සාමාන්‍ය පුරවැසියකු ණයට තෙල් ගහන්නේ නැත. නොමිලේ විදුලිය භාවිත කරන්නේ නැත. නොමිලේ ජලය භාවිත කරන්නේ නැත. රටේ සාමාන්‍ය ජනතාව පාලකයන් මෙන් බදු මුදල්වලින් සුර සැප විඳින්නේ නැත.

මේ පාඩු ලබන හැම ආයතනයක්ම නූගත්, කපටි, අවස්ථාවාදී දේශපාලකයන්ගේ වරදින් පාඩු ලබන ආයතනය. ඡන්දයට උදව් කිරීමට හිලව් ලෙස හෝ ලිංගික අල්ලස් වශයෙන් මෙවන් බොහෝ රාජ්‍ය ආයතනවලට පත්කර තිබේ. (රාජ්‍ය ආයතනවල රාජකාරි කරන හැම කෙනෙක්ම එසේ නොවේ.) සීයක් සිටිය යුතු තැනට එක්දහස් පන්සීයක් පත්කර ඇත. මේ තත්ත්වයට වැඩිපුරම ලක්වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම්, ලංගම, වරාය වැනි ආයතනය.

නමුත් දේශපාලකයන්ගේ මේ හැම නොමනා ක්‍රියාවකම අවසාන ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය ආයතන පාඩු ලැබීමයි. මේ ආයතනවල පාඩුව විඳීමට කිසිදු ආණ්ඩුවක් සූදානම් නැත. මේ හැම දේකම පාඩුව අවසාන වශයෙන් විඳීමට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවටය.

මේ විකිණීමට සූදානම් වන සමහර ආයතන කෝටි ගණනින් පොලු තැබූ ආයතනය. දැන් දේශපාලනඥයන් සූදානම් වන්නේ එම පාඩුව නැවත වටයකින් සාමාන්‍ය ජනතාව පිට පැටවීමට ය. ඒ විකිණීමට සූදානම් වන රාජ්‍ය ආයතනවල පවතින කෝටි ප්‍රකෝටි ගණනක් වන ණය බර ආණ්ඩුව විසින් දරා ගැනීමට සූදානම් වීම ය. ආණ්ඩුව විසින් දරා ගන්නවා යනු සාමාන්‍ය ජනතාව පිට පැටවීමයි. පසුගිය සතියේ මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණේ විකිණීමට සූදානම් වන රාජ්‍ය ආයතන හතරක ගෙවීමට ඇති රුපියල් කෝටි එක්ලක්ෂ හයදහස් අසූ එකක (රු.1,060,810,000,000) ක මුදලක් ජනතාවගේ පිට පැටවීමට සූදානම් වන බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පොරොන්දු ඉටු කරමින් රාජ්‍ය ආයතන ඈවර කිරීමේ පියවරේ මුල් අදියර ලෙස රාජ්‍ය ආයතන කීපයක්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ ලේබලය අලවා පෞද්ගලික අංශයේ තම හිතවතුන්ට හෝ විදෙස් රටවලට විකුණා දැමීම අරඹා තිබේ. මේ රාජ්‍යායතන විකුණා දැමීමේ දී ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ හරි අපූරු උපක්‍රමයකි. දෑවැද්දට ළමයින් හතර පස් දෙනකු සමග ගැහැනියක ගැනීමට කිසිවකු සූදානම් නැත. කලින් කසාඳ බැඳ තිබුණත් හොඳ හැඩට වැඩට ඇති කාන්තාවකට කවුරුත් කැමති සේ ආණ්ඩුව ද මේ සූදානම් වන්නේ ණය බර නමැති දරුවන් ඉවත් කර බ්‍රෑන්ඩ් නිව් ආකාරයෙන් සළුපිළි අන්දවා මෙම ආයතන වැඩි මිලට විකිණීමට ය.

දේශපාලන වේදිකාවල මේ දිනවල නිතර කියැවෙන මාතෘකාවක් වන්නේ ආණ්ඩුව මේ තරම් උනන්දුවෙන් මෙම රාජ්‍ය ආයතන විකුණා දැමීමට සූදානම් වන්නේ ඒ හරහා කෝටි ගණනක කොමිස් මුදලක් ලැබෙන නිසා බවය. එම කතා කෙසේ වෙතත් කෙනෙකු මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවන බව නම් සැබෑය. තමන්ට වාසියක් නොවන කිසිදු ක්‍රියාවකට මේ තරම් උනන්දුවෙන් දේශපාලනඥයන් කටයුතු කරන්නේ නැත.

● මොනවද මේ පොලු තැබූ රාජ්‍ය ආයතන

පසුගිය සතියේදී මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය සතු ණය මේ ආකාරයෙන් ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ පිට පැටවීමට සූදානම් වන බවයි. මේ අතරින් මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි තිස් හතර දහස් නවසිය අනූ නවයක් ණය වී තිබේ.

රටක දියුණුවට විධිමත් මාර්ග පද්ධතියක් අත්‍යවශ්‍යය. නමුත් පසුගිය කාලයේ නොයෙකුත් නම් යොදා විටින් විට එකම මාර්ගය දෙතුන් වතාව සංවර්ධන කළ අවස්ථා ද වාර්තා විය. එක් අවස්ථාවක කොන්ක්‍රීට් කොට ඇති මාර්ගය තවත් සංවර්ධන ව්‍යාපෘතියක නාමයෙන් මාස හය හතකට පසු කාපට් අතුරා සංවර්ධනය කළ පුවත් ඕනතරම් වාර්තා විය. තවමත් ගමට යෑමට පාරක් නැතිව ලක්ෂ ගණනක් ජනතාව දුක් විඳින රටට එක් කිලෝමීටරයක් කාපට් අතුරා නොව රනින් නිම කළ හැකි ආකාරයේ වියදම් දැරූ අවස්ථාද වාර්තා නොවුණාම නොවේ. බොහෝ අවස්ථාවල ලක්ෂ දහයක් වෙන්කරන මාර්ගයක ජනතාවට සැබෑ ලෙසම ප්‍රතිලාභ ලැබෙන්නේ ලක්ෂ දෙක තුනක පමණකි.

මීළඟට පොලු තැබූ රාජ්‍ය ආයතනය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි. එහි පවතින ණය බර රුපියල් කෝටි හයදාස් තිස් හතරකි. පසුගියදා කෝප් කමිටුවේදී හෙළි වූයේ මෙරට සෑම පුරවැසියෙකුම ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රුපියල් 32000ක ණයකරුවන් වී සිටින බවයි. මෙවන් පාඩුවලට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ දේශපාලන තීන්දු තීරණය. මෙම ආයතනයට දේශපාලනඥයන්ගේ හිතවතුන් ඥාතීන් පත් කරමින් සිදුකළ වංචා දූෂණ ගැන පසුගිය කාලයේ වාර්තා නොවුණු සතියක් නැති තරම්ය.

මෙම ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. එහි ණය රුපියල් කෝටි පනස් හය දහස් එකසිය විසි හතරකි. තෙල් සංස්ථාව යනු දේශපාලනඥයන්ගේ රැකියා වෙළෙඳ පොළකි. සේවකයන් එකට තුන්හතර ගුණයකින් පුරවා ඇති මේ ආයතනයේ පාඩුවට දේශපාලනඥයන්, නිලධාරීන්, සුළු සේවකයන් මෙන්ම වෘත්තීය සමිති ද එකසේ වගකිව යුතුය.

වාර්තා වූ අනෙක් ණය කන්දක් ඇති ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි. එහි ණය රුපියල් කෝටි අට දහස් නවසිය තිහකි. විදුලිබල අමාත්‍යංශය පාඩු ලබන ආයතනයක් බවට පත් කිරීමට ඉංජිනේරු මාෆියව මෙන්ම නිසි කලට ජනන සැලසුම් ඉටු නොකිරීම, පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු නොවීම මෙන්ම තමන්ට කළ හැකි දේවල් පවා අනුන් ලවා කර ගැනීමට ක්‍රියා කිරීම ප්‍රධාන වශයෙන්ම බලපා ඇත. දැන් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය.

● ආයතන හතක් කඩිනමින් පෞද්ගලික අංශයට

මේ වන විට ආණ්ඩුව විසින් කඩිනමින් රාජ්‍ය ආයතන සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමට තීරණය කර තිබේ. ඒ ආයතන වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම (කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටලය) හොටෙල් සංවර්ධන ලංකා සමාගම (හිල්ටන් හෝටලය) ලිට්රෝ ගෑස් පර්යන්තය ඇතුළු ලිට්රෝ ගෑස් සමාගම සීමාසහිත ලංකා හොස්පිටල්ස් ආයතනය.

එම ආයතන 07 ට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ආයතනය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා, විදේශ රාජ්‍ය දූත මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල, මාර්ග නඩත්තු භාර අරමුදල, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව,

පාරිභෝගික කටයුතු අධිකාරිය, ලංකා ධීවර සංස්ථාව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ලංකා සතොස, ලංකා සිමෙන්ති සමාගම, පොල් වගා කිරීමේ මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, සියලුම රාජ්‍ය බැංකු හා එහි පාලිත සමාගම්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිතය.

තවදුරටත් පාඩු ලබන ආයතන නඩත්තු නොකළ යුතු යැයි ආණ්ඩුව ප්‍රකාශ කරයි. එහි වරදක් නැත. නමුත් මේ වැරදි මේ පාඩුව අද ඊයෙක ඇති වූ වැරදීමක් පාඩුවක් පත් නොවේ. මේවා අවුරුදු 30 40 කට අධික කාලයක සිට පවතින වැරදිය පාඩුය. කෙතෙක් ඒ පිළිබඳ කතා කළත් විසඳුම් ඉදිරිපත් කළත් හැම කෙනාම කර ඇත්තේ තිත්ත බෙහෙත් නොබී හිමින්සැරේ බෙහෙත් අහුර ඇඳ යටට විසිකර ජනතාවට පේන්නට පැණි රස බෙහෙත් බීම පමණි.

නමුත් දැන් රෝගය උත්සන්න වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තවදුරටත් සහන ලබාදීමට නම් පාඩු ලබන රාජ්‍ය ආයතන කෙරේ කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබේ. ඒ එහි මූල්‍ය අවදානම අවම කරගැනීම සඳහාය. එහි ප්‍රමුඛ කොන්දේසියක් වන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවයි. දැන් ඉතින් තිත්ත බෙහෙත බොන්නම සිදුවේ නැතිනම් දැඩි සත්කාර ඒකකයෙන් අපව රෝහලේ කොරිඩෝවට ගෙනත් දමනු ඇත. රාජ්‍ය ආදායමෙන් හරි අඩකට වඩා වැය වී ඇත්තේ පාඩු ලබන ආයතන නඩත්තු කිරීම සඳහාය.

පසුගිය වසරේ එම වාර්තාවට හිමිකම් කියන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවය. ඊට අමතරව පසුගිය වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම, ගමනාගමන මණ්ඩලය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මිල්කෝ පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ආයතනය පාඩු පිට පාඩු ලබා ඇත.

● මුල සිටම කෝප් කමිටුවේ අවධානය

කෝප් කමිටුව ආරම්භක අවස්ථාවේ සිට ම රාජ්‍ය ව්‍යාපාර වල සිදුවන වංචා දූෂණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ කතා කරන්නට පටන්ගෙන ඇත. මේ වන විට එම කමිටුවට අවුරුදු විස්සකට ආසන්න ඉතිහාසයක් ඇත. එම කමිටුව විසින් රාජ්‍ය ආයතනවල සිදුවන පාඩු පිළිබඳ පෙන්වා දෙමින් ඒවා මගහරවා ගන්නා ආකාරය පිළිබඳ කොතෙක් උපදෙස් දුන්න ද අද වන තුරු ම එම වැරදි නිවැරදි කරගෙන නැත.

හිටපු කෝප් කමිටු සභාපති වරයෙකු වන චරිත හේරත් මහතා වරක් පවසා තිබුණේ රාජ්‍ය ආයතන වල සිදුවන වංචා දූෂණ සඳහා දේශපාලඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද වගකිව යුතු බවයි. දේශපාලනඥයා වසර පහකින් මාරු වන බවත් රාජ්‍ය නිලධාරීන් දිගටම එම තනතුරු දරන බවත් වංචා දූෂණ අවම කිරීමට නම් ජනාධිපතිවරයා, රාජ්‍ය නිලධාරීන්, ඇමැතිවරු, ලේකම්වරු ආදී සියලු දෙනා කැපවිය යුතු බවයි.

කෝප් කමිටු ආරම්භයේ සිටම කතා කළ ආයතන වන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින්, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා සතොස, ධීවර සංස්ථාව, ලංකා ගමනාගමන මණ්ඩලය ආදියයි. නමුත් මේ ආයතනය අදටත් පාඩුය. හෙටටත් පාඩුය. තව වසර දහයකින් ගෙන බැලුවත් පාඩුය. එම පාඩුවට හේතුව පෙන්වා දෙන වැරදි අඩුපාඩු නිවැරදි කර නොගැනීමයි.

● දරාගත නොහැකි රාජ්‍ය සේවයක්

කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා පවසා තිබුණේ අද වන විට රාජ්‍ය සේවය ඉතාමත් පුළුල් වී ඇති බවයි. විශ්‍රාමිකයන් ද විශාල පිරිසක් රජයට නඩත්තු කිරීමට සිදුව ඇත. සමහර රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඇයි ද යන්න පවා ගැටලු සහගත බව ඔහු පවසා තිබේ.

කෝප් කමිටුවෙන් මෙන්ම වාර්ෂිකව විගණකාධිපතිවරයාද දිගින්

දිගටම රාජ්‍ය ආයතනවල සිදුවන ක්‍රියාදාමය පිළිබඳ වාර්තා සපයයි. නමුත් මේ කිසිදු අවස්ථාවක ක්‍රියාත්මක වී නැත්තේ ඒ පිළිබඳ තීන්දු තීරණ ගත යුතු දේශපාලනඥයාය. දැන් මේ අවසාන අවස්ථාවේ මෙහි සියලු වැය බර බර ජනතාව පිට පටවා අත පිහදා ගැනීමට සදාචාරාත්මක අයිතියක් නැත.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ රාජ්‍ය ආයතන 400 ක් පමණ පාඩු ලබන බවයි. ඒවා නඩත්තු කිරීමට වසරකට රුපියල් බිලියන 480ක් වැයවන බවත් ඔහු පවසා ඇත. මේ ආයතන ලාභ ලැබීමට නම් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවත් පවසා ඇත. පසුගිය වසර 10 – 15 ක කාලය ගතහොත් එම කාලයෙන් හතරෙන් තුනකට තුනකට අධික කාලයක් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇමැතිධුර දරා ඇත. තම අමාත්‍යාංශයවත් පාඩු නොලබන තත්ත්වයට පත් කිරීමට ඔහු ඔහු සමත් වී ඇත්ද. රටේ සියලුම ඇමැතිවරුන්ගේ තත්ත්වය ඔය ආකාරය. කටින් බතල සිටුවීමට නම් රුසියෝය.

● ප්‍රතිව්‍යුහගතකරණයට දේශීය සමාගමක්

ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සිදුකිරීමට දේශපාලනයෙන් තොර දේශීය සමාගමක් පත් කර තිබේ. Public Enterprise holding company Ltd නමිනි. මෙම සමාගම මැලේසියානු හා සිංගප්පූරු සමාගම් වල මොඩලයට සමාන බවත් රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා පවසයි. මෙහිදී ප්‍රතිව්‍යුහගතකරණය නියාමනය සඳහා එක් එක් අංශයට අදාළව වෙන වෙනම නියාමන ආයතන පිහිටුවනු ලැබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය වසර 10ක කාලය තුළ රාජ්‍ය ව්‍යාපාර 450ක් ලබා ඇති සමස්ත පාඩුව පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළේය. 2012 දී බිලියන 183ක් 2013 දී බිලියන බිලියන 186ක් 2014දී බිලියන 186 ක් 2015 දී බිලියන 271ක් 2016 දී බිලියන 180ක් 2017 දී බිලියන 260 ක් 2018 දී බිලියන 265 ක් 2019 බිලියන 268ක් 2020 දී බිලියන 436ක් 2021 දී බිලියන 337ක් හා 2022 දී බිලියන 322ක් පාඩු ලබා ඇත.

පසුගියදා යළිත් වරක් මාධ්‍ය හමුවකදී රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ 2022 වසරේදී පාඩු ලැබූ රාජ්‍ය ආයතනවල මුළු එකතුව රුපියල් කෝටි එක්ලක්‍ෂ දෙදහස් නවසීයක් (බිලියන 1029) ක් බවයි. රාජ්‍ය ආයතන මේවනවිට මොනතරම් සුදු අලියෙක් වී ඇත්දැයි දිනෙන් දින අසන්නට ලැබෙන පුවත්වලින් අනාවරණය වේ. වසරකට මෙතරම් මුදල් කන්දරාවක් නිකරුනේ ගිලදමන මෙවන් ආයතන ඇති රටකට කිසිදා ඉදිරි දියුණුවක් නැත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment