වසරක් ගියත් ස්ටාලින් ඇතුළු  33කට තාමත් චෝදනා  ගොනුකර නෑ – උසාවි කැඳවීමම දඬුවමක් වෙලා

155

– නීතිඥ උසාවියට කියයි

මහජන විරෝධතාවක නිරතව සිටියදී කොරෝනා ඇඳිරිනීතිය උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු සැකකරුවන් 33 දෙනාට වසරකට අධික කාලයක් ගත වී ඇතත් මේ දක්වා අධිකරණය හමුවේ චෝදනා ගොනුනොකර අධිකරණයට කැඳවා දිගින් දිගටම රස්තියාදු කිරීමට පොලිසිය ගෙන ඇති පියවර කෙරෙහි දැඩි අවධානය යොමුකරන ලෙස නීතිඥ රජික කොඩිතුවක්කු මහතා 03 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පසුගිය වසරේ ජූලි මස අත්අඩංගුවට ගෙන මුලතිව් පුනරුත්ථාපන කඳවුරේ රඳවා පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදාහැරිය ඔවුන් අවස්ථා කිහිපයකදීම අධිකරණයට කැඳවා ඇතත්, චෝදනා ගොනුකර නොමැති බවත්, දුර බැහැර ප්‍රදේශවල සිට එලෙස විටින් විට අධිකරණයට පැමිණීමම ඔවුනට දඬුවමක් වී ඇති බවත් අධිකරණය හමුවේ කියා සිටි නීතිඥවරයා පොලිසිය චෝදනා ගොනු නොකරන්නේ නම් ඔවුන් නඩු කටයුත්තෙන් නිදහස් කිරීමට හෝ දීර්ඝ දිනයකින් නඩුව කැඳවන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ලබන පෙබරවාරි 6 වැනිදා දක්වා නඩුව කල්තැබීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment