වසර තිහකට පසු සිදුවන සෙනසුරු මාරුව ඔබට සහ රටට

1262

අප්‍රේල් 29 වැනිදා සිදුවුණ සෙනසුරු මාරුව පිළිබඳව විවිධ ජනමාධ්‍යයන් හරහා මේ වනවිට සාකච්ඡා කර තිබේ. ජීවන ගැටලු රාශියකට මැදිහත්ව සිටින අසරණ ජනතාව, මේ සෙනසුරු මාරුවෙන් වත් යහපතක් සිදුවේ දැයි හිතනවා විය හැකිය. එබැවින් මේ පිළිබඳව පසු විපරමක් කිරීම මේ ලිපියේ අරමුණයි.

 ආකාශ වස්තුවක් හෙවත් ග්‍රහයකු වන සෙනසුරු මිනිසුන්ට අපල කරන්නේය යන මිත්‍යා මතයන් කාලයක සිට සමාජයේ මුල් බැසගෙන තිබේ. ආකාශ වස්තුවක් වන ග්‍රහයකු අපල කරන්නේ කෙසේ ද? මුලින්ම ග්‍රහ අපල වශයෙන් හඳුන්වන්නේ කුමක් ද යන්න වටහාගත යුතුය. කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්වලින් පෙන්වන්නේ කර්ම විපාකයි. යමකු කරන ලද කර්ම විපාක මෙසේ යැයි හඳුනාගැනීම මිස ග්‍රහයන් ශුභ හෝ අශුභ දෙන්නේ නැත. මේ අනුව යමකු කළ අකුසල කර්ම විපාක සෙනසුරු අපල ලෙස හඳුනාගැනීම අවශ්‍ය වේ.

 සේවකයන්ට වැටුප් නොදීම, විවේකය නොදීම අනුන්ගේ දුකට සවන් නොදීම, ඊෂ්‍යාව නිසා උතුමන්ට කරන ගුරුහරකම්, අපවාද, හදි හුනියම් කිරීම, බොරු ප්‍රචාර කිරීම, දේපළ කොල්ලකෑම ආදිය නිසා ඇති වන රෝග පීඩා දුක් කරදර සෙනසුරු අපල වශයෙන් උදා වෙයි.

 මේ අනුව අප්‍රේල් 29 වැනිදා සිදු වූ සෙනසුරු මාරුව ද කර්ම විපාක පෙන්වන බව හඳුනාගත හැකිය. අතීතයේදී කරන ලද අකුසල විපාක වර්තමානයේදී දුක් ඇති කරන්නේ නම්, වර්තමානයේ කරන දේ අනාගතය තීරණය කරනවා ඇත. එනම් අද කරන දේ අනුව අනාගතය තීරණය වන බවයි. මේ නිසා අපලවලට බිය වීමට අවශ්‍ය නැත. අතීත කර්ම ගැන පසුතැවිලි වීමට ද අවශ්‍ය නැත. අතීත කර්ම අහෝසි කොට සැප ලැබීමට අංගුලිමාලට පුළුවන් උනානම් ඔබට ද මට ද එසේ කළ හැකිය. උපන් ලග්න අනුව එසේ කළ යුතු දේ පහත දක්වනු ලැබේ.

 මේ අතර ශනි ග්‍රහයා මාරු වූයේ ශනිට ම හිමි රාශිය වන කුම්භ රාශියටය. මේ නිසා තරමක ශුභඵල අපේක්ෂා කළ හැකිය. ශනි බලවත් වීම යනු වැඩ කරන ජනතාවට ශුභඵල දීමකි. මේ නිසා පොදු ජනතාව ලබන ජයග්‍රහණ කිහිපයක් ඉදිරි මාස දෙක තුළදී අත්දැකීමට ලැබෙනවා ඇත. නමුත් මේ ශනි මාරුව ජූලි 12 දක්වා පමණක් පවති. ශනි වක්‍ර වී නැවත මකර රාශියට පැමිණේ. මේ නිසා ඉහත ධනාත්මක තත්ත්වය නැවත මුල් තත්ත්වයට ම පැමිණීම අපේක්ෂා කළ යුතු වේ. ග්‍රහයන්ට ම තැන නොදී අප කරන යහපත් ක්‍රියාකාරකම්වලින්ම තත්ත්වය ජයගත යුතුවේ. පහත සඳහන් වන්නේ උපන් ලග්න අනුව ශනි මාරුව නිසා ඇති විය හැකි ප්‍රතිඵල හා පිළියම් වේ.

 මේෂ

 මේෂ ලග්න හිමියන්ට යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. සහෝදරයකුට සුබයි. සේවක සහයෝගය ලැබේ. උසස් අයගේ උදව් උපකාර ද ලැබේ. නායකත්ව ගතිගුණ ඉස්මතු වේ. ගෞරවය ලැබේ. නමුත් ගුරු දුර්වලව ගමන් කරන නිසා ශරීරයේ සීනි හා මේදය නිසා ඇති වන රෝගවලට ඉඩ තිබේ. භික්ෂුන් වහන්සේලාට හෝ පූජ්‍ය පක්ෂයට ඖෂධ පරිත්‍යාග කිරීම, ගැබිනි මාතාවන්ට දන්දීම, සිල් සමාදන් වන අයට ඇඳුම් පරිත්‍යාග කිරීම, මේ අපල දුරුවීමට හේතු වනවා ඇත. සෞඛ්‍යය රැකගන්න.

 වෘෂභ

 ඔබේ ලග්නයෙන් දහවැන්නට ශනි මාරු වීම මිශ්‍රඵලදායක බව පෙනේ. නමුත් ආදායම් මාර්ගවලට තිබූ බාධා ඉවත් වේ. උසස් මිතුරන් හඳුනාගැනීමට ඉඩ ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් ජය ලැබේ. නමුත් රවි හා රාහු දශා ගත කරන අයට ඌෂ්ණාධික රෝග හා හිතේ අවුල් බව ඇති කරයි. උඳු ගිතෙල් මිශ්‍ර කිරි ආහාර පූජාව, ආලෝක පූජාව ගුණදායකයි. වැදගත් තීරණ ගන්නා සෑමවිට ම විශේෂඥ උපදෙස් ගැනීම මැනවි. සූරිය පිරිත භාවිත කරන්න. ඌෂ්ණාධික ආහාර පාන හා තෙම්පරාදු ආහාර අඩුකරන්න.

 මිථුන

 මෙතෙක් තිබූ ශනි ඒරාෂ්ටක අපලය තරමක් දුරට සමනය වේ. ශනි මාරුව නවවැන්නට සිදු වේ. මේ අතර බුධ දොළහේ ගමන් කරයි. ගෘහ ජීවිතයට තරමක බාධා ඇති වීමට ඉඩ තිබේ. දිළිඳු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන උපකාරක පරිත්‍යාග කරන්න. ධර්ම ප්‍රචාරය, දහම් පඬුරු පූජාව නිසා අපල දුරු වේ. කතාවෙන් ප්‍රවේශම් වෙන්න. අන් අයගේ දුක් කරදරවලට සවන් දෙන්න. කරණීය මෙත්ත සූත්‍රය භාවිත කරන්න.

 කටක

 ඔබේ කේන්ද්‍රය ශනි අටවැන්නට මාරු වන්නේ කුජත් අටවැන්නේ සිටියදීයි. මෙයට අමතරව ගුරු භාග්‍යස්ථානගතව ගමන් කරන නිසා මිශ්‍රඵලදායක තත්ත්වයක් ඇති කරාවි. මුල් මාස දෙකක කාලය නායකත්ව ගති ගුණ මතු වෙයි. රැකියා සාර්ථකයි. පෙර පින වාසනාව ක්‍රියාත්මක වෙන නිසා බොහෝ දේ ජයගන්න අමාරු නෑ. නමුත් ශනි ඒරාෂ්ටක තත්ත්වයක් තියන නිසා ශරීර සෞඛ්‍යය රැක ගැනීම අවශ්‍යයි. සතුන්ට අභය දානය දීම, ලේ දන්දීම, ඖෂධ පූජා කිරීම වැනි පිංකම් නිසා මේ අපල දුරු වී සුබඵලදායක තත්ත්වයන් ඇති වේවි.

 සිංහ

 ශනි හත්වැන්නට මාරු වෙනවා. රවි උච්චව නවයේ ගමන් කරයි. සේවක පක්ෂයේ සහයෝගය ලබාගන්න පුළුවන්. බිරිඳ නැත්නම් සැමියාට සුබදායකයි. ඔබේ කේන්ද්‍රයේ ගුරු අටවැන්නේ ගමන් කරන නිසා අවිවේකි බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරගත සීනි/ කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයන් තියනවා නම් ටිකක් ප්‍රවේශම් වෙන්න. වෛද්‍ය උපදෙස් පිළිපඳින්න අමතක කරන්න එපා. මේ අපල සමනය වෙන්න බෙහෙත් ද්‍රව්‍ය දන්දීම, අටපිරිකර පූජාව, චතු මධුර පූජාව හොඳයි. දස දිසා පිරිත භාවිත කරන්න.

 කන්‍යා

 සෙනසුරු ඔබේ ලග්නයෙන් හයවැන්නට මාරු වීම සුබයි. උත්සාහය ඉහළ යනවා ඇත. සේවක පක්ෂයේ සහයෝගය ලැබේ. නමුත් රවි රාහු අටවැන්නේ ගමන් කරන නිසා ඌෂ්ණාධික රෝග, රුධිර ධාවනය පිළිබඳ ගැටලු, මානසික ආතතිය වැනි අපල ඇති වීමට ඉඩ ඇත. උසස් අය ඇසුරු කිරීම, උපදෙස් මත තීරණ ගැනීම මැනවි. ආලෝක පූජාව, මෛත්‍රී භාවනාව හා දිනපතා ආගමික වතාවත් කර සූරිය පිරිත භාවිත කිරීම මෙම අපල දුරු කර ගැනීමට හේතුවේ.

 තුලා

 තුලා ලග්න හිමියන්ගේ ලග්නයෙන් පස්වැන්නට ශනි මාරුවීම සිදුවන අතර ගුරු හයවැන්නේ ගමන් කරයි. විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කර ගැනීමට බාධා ඇති වීමට ඉඩ තිබේ. මුදල් ආයෝජනය කරනවිට දුරදිග බලා කටයුතු කරන්න. අලස බව, වැඩ කල්දැමීම ආදිය අධ්‍යාපන කටයුතුවලට බාධා ලෙස පෙන්වයි. මේ අපල දුරුකර ගැනීමට දිළිඳු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උදව් දෙන්න. අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කරන්න. ධර්ම දේශනා කරවීම, දහම් පඬුරු පූජා කිරීම, ඖෂධ පූජා කිරීම විශේෂ ශාන්තිකර්ම වන්නේය.

 වෘශ්චික

 ලග්නපති කුජ සමග ශනි හතරවැන්නේ ගමන් කිරීම ආරම්භ කරයි. ගෘහ ජීවිතය පිළිබඳව තරමක බාධා ඇති වීමට ඉඩ තිබේ. නමුත් ඉඩම්වල දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ගුරු පස්වැන්නේ ගමන් කිරීම සුබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමර්ථ වේ. මංගල යෝජනා ස්ථිර වේ. කේතු දශා ගත කරන අය ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. විටමින්, යකඩ අඩංගු ආහාර ගන්න. කළු පාට ඇඳුම් අත්හරින්න. කරණීය මෙත්ත සූත්‍රය භාවිත කරන්න. මෛත්‍රී භාවනාව කරන්න.

 ධනු

 ශනි ග්‍රහයා ලග්නයෙන් තුන්වැන්නට මාරුවීම සුබයි. අධික වියදම පාලනය කර ගැනීමට හැකි වේ. උත්සාහය හා ධෛර්යය වැඩි වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. සේවක සහයෝගය ලැබේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ස්වයං රැකියාවලින් ලාභ ලැබේ. රාහු දශා ගත කරන අය මුදල් ආයෝජනය ප්‍රවේශමින් කළ යුතු වේ. උදරාබාධ ආශ්‍රිත, හිසේ රෝග,ගැස්ට්‍රයිට්ස් වැනි රෝග ඇති විය හැකියි. බලු කපුටු දානය දීම, චන්ද පිරිත හා සූරිය පිරිත භාවිත කිරීම මැනවි.

 මකර

 ලග්නයෙන් දෙවැන්න ශනි මාරුවීම නිසා වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. පවුලේ වියදම් පාලනය කර ගන්න. මේ අතර රවි හතරවැන්නේ ගමන් කරයි. මේ නිසා රුධිර ධාවනය පිළිබඳ රෝග හා ඌෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වෙන්න. පහන් ආලෝක පූජාව, අසරණ කෙනකුට ඇස් කණ්ණාඩියක් පරිත්‍යාග කිරීම, උඳු ගිතෙල් මිශ්‍ර කිරි ආහාර පූජාව, අපල දුරුවීමට හේතුයි. එමෙන්ම දිනපතා ආගමික වතාවත් කර සූරිය පිරිත භාවිත කරන්න.

 කුම්භ

 ශනි ලග්නයට මාරු වන අතර කුජ ද ලග්නයේම ගමන් කරන නිසා මිශ්‍රඵලදායක බවක් පෙන්වයි. ආදායම් තත්ත්වය සතුටුදායක වෙයි. ගෙදර දියුණුවට කරන කටයුතුවලට තිබූ බාධා ඉවත් වෙනවා ඇත. උත්සාහය උනන්දුව වැඩි වේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. ඉක්මන් කෝපය හා කලබල වීම නිසා ගැටලු ඇති විය හැකියි. තුවාල ලත් රෝගීන්ට උපකාර කිරීම, ලේ දන්දීම, සතුන් මරනයෙන් නිදහස් කිරීම, අපල දුරු වීමට හේතුයි. මංගල සුත්‍රය භාවිත කරන්න.

 මීන

 සෙනසුරු දොළොස්වැන්නට මාරුවීම හා ගුරු ලග්නයේ ගමන් කිරීම මිශ්‍රඵලදායක බව පෙන්වයි. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක වීමට ඉඩ තිබේ. දුරගමන් යෙදේ. එහෙත් වියදම් ඉහළ යා හැකියි. ආදායම් මාර්ගවලට ද තරමක බාධා පවතී. දුගී දුප්පත් අයට හැකි අයුරින් උපකාර කරන්න. අන් අයගේ දුක් කරදරවලට සවන් දෙන්න. ලේ දන්දීම විශේෂයි. දිනපතා කරණීය මෙත්ත සූත්‍රය භාවිත කරමින් ටික වේලාවක් වත් මෛත්‍රී භාවනාව කරන්න. අපල දුරු වේ.

 කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
 දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment