වසර තුනකට පසු චැම්පියන් ලීග් පාපන්දු කුසලානට හිමිකරුවන් සොයයි

153

තෙවසරකට පසුව ක්‍රියාත්මක කෙරෙන ‘චැම්පියන් ලීග් කුසලාන’ අන්තර් සමාජයීය පාපන්දු තරගාවලිය ලබන මැයි මස 13 දින ආරම්භ කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

එළඹෙන සැප්තැම්බර් මස අවසානය දක්වා දිවයිනේ ස්ථාන 05 ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියට තෝරා ගෙන ඇති ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 14 කි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් වාර්ෂිකව මෙහෙයවනු ලබන තරග මාලාවන් අතරේ දෙවන පෙළ ශූරයන් තෝරා ගැනීම උදෙසා මෙවර ‘චැම්පියන්ස්’ ලීග් පාපන්දු තරගාවලිය නම් කර තිබීම විශේෂත්වයකි.

2018 දක්වා මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජාන්තර ලීග් තරගාවලියේ ශූරයන් උදෙසා ‘චැම්පියන්ස් අභියෝග කුසලාන’ පිරිනැමුණු අතර මෙවර එය දෙවන පෙළ ශූරයන්හට ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත්තේ දේශීය පාපන්දු ක්‍රීඩාව දිවයින පුරා ව්‍යප්ත කරමින් දක්ෂයන් ඇගයීම උදෙසා ගත් පියවරක් ලෙසිනි.

මෙවර තරග මාලාවේ ශූරයන් හට මුදලින් රුපියල් 1,000.000/= ක් ද අනුශූරතාව හිමි කර ගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 750.000/= ක් ද බැගින් ප්‍රදානය කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා අනාවරණය කළේය. මෙරට ප්‍රමුඛතම අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය ‘සුපර් ලීග් කුසලාන’ ලෙසින් හැඳින්වෙන අතර එය වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් බිහිකිරීම වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා තෝරා ගෙන තිබූ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 10 කි. කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය, කොළඹ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය, කොළඹ රත්නම් ක්‍රීඩා සමාජය, පානදුර රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය, කොළඹ රිනවුන් ක්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, කොළඹ බ්ලූ ඊගල්ස් පාපන්දු සමාජය, වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජය. නාවලපිටිය අප් කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ සී හෝර්ක්ස් පාපන්දු සමාජය එම කණ්ඩායම් වෙති.

පසුගිය වසරේ ආරම්භ කෙරුණු මෙම තරඟාවලියේ කුළුඳුල් ශූරයින් ලෙස අභිෂේක ලැබීමට කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූයේ රුපියල් මිලියන පහක මුදල් ත්‍යාගයට ද හිමිකම් කියමිනි. එය මෙරට පාපන්දු කේෂ්ත්‍රයේ ජයග්‍රාහී කණ්ඩායමකට ප්‍රදානය කෙරුණු විශාලතම ජය මල්ල ලෙස ඉතිහාසයට එක්විණි.

කොළඹ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමින් මෙවර චැම්පියන්ස් අභියෝග කුසලාන ලීග් තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන සෑම කණ්ඩායමකට ම රුපියල් 2,500.000/= බැගින් ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව මෙවර කණ්ඩායම්වල සූදානම්වීම සඳහා ලබා දීමට නියමිත මුදලේ එකතුව රුපියල් 35,000.000/= කි.

ගම්පොළ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය, කොළඹ ජාවාලේන් ක්‍රීඩා සමාජය, මාතර මාතර සිටි ක්‍රීඩා සමාජය, කොළඹ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය, මීගමුව නිගම්බු යූත් ක්‍රීඩා සමාජය, කොළඹ නිව් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය, කුරුණෑගල ෆෙලිකන්ස් ක්‍රීඩා සමාජය, කොළඹ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, මාවනැල්ල සෙරෙන්ඩිබ් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, යාපනය ශාන්ත මේරිස් ක්‍රීඩා සමාජය, අනුරාධපුරය සොලීඩ් ක්‍රීඩා සමාජය සහ බේරුවල සුපර් සන්ස් ක්‍රීඩා සමාජය අතරේ මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී එක් කණ්ඩායමක් සහභාගී වීමට නියමිත තරග සංඛ්‍යාව 13 කි. කලක් මෙරට පාපන්දු කෙළිබිමේ අංක එකේ රැඳී සිටි කොළඹ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය දෙවන පෙළ ශූරතාව තහවුරු කර ගැනීම සඳහා සටන් වැදීම ද කැපී පෙනේ. එමෙන්ම නිගම්බු යූත්, ගමනා ගමන මණ්ඩලය සහ පොලීසිය ජාතික මට්ටමේ ශූරතා දිනා ගෙන ඇති ප්‍රබල කණ්ඩායම් වෙති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment