වසර තුනකට පසු වෙසක් බලන්න කොළඹට ජන ගඟක්

135

මාර්ග ඉතිරෙයි: – දැඩි වාහන තදබදයක්
තොරණ ප්‍රදර්ශනය අදත්
නෙළුම් කුලුනත් එළිය වෙයි

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් අසිරිය නැරඹීමට වසර තුනකට පසු දිවයිනේ නන්දෙසින් අති විශාල ජනතාවක් වෙසක් පෝදා (5 දා) සිට ඇදීඑමින් පවතී.

මෙලෙස පැමිණෙන බැතිමතුන්ගෙන් කොළඹ නගරය පිරී ඉතිරීයෑම නිසා කොළඹ නගරයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබිණි.

එලෙස පැමිණෙන ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා කොළඹ නගරයේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට පැවැසීය.

සම්බුදු තෙමඟුල සිහිකරමින් රට පුරා වෙහෙර විහාරස්ථාද වෙසක් සැරසිලිවලින් අලංකාරවත් වී තිබූ අතර වෙහෙර විහාරස්ථාන වලින් මෙන්ම විවිධ සංවිධාන වලින්ද වෙසක් වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි.

කොළඹ නගරයේ ගාලුමුවදොර, බෞද්ධාලෝක මාවත, හුණුපිටිය ගංගාරාමය කේන්ද්‍ර කරගනිමින් වෙසක් කලාප රැසක් සංවිධානය කර තිබූ අතර වෙසක් තොරණ රැසක් ද ප්‍රදර්ශනය කෙරිණි.

චුල්ලධර්මපාල ජාතකය රැගත් තොරණ කැලණි විහාරයේදී ද, මයුර ජාතකය රැගත් තොරණ අතුරුගිරිය නගරයේදී ද ප්‍රදර්ශනය කෙරිණි.

එසේම, කොට්ටාව නගරයේ අපණ්ණක ජාතකය රැගත් තොරණ ද, මහරගම නගරයේ කාලි යක්‍ෂණී කතා වස්තුව රැගත් තොරණ ද, කොළඹ හුණුපිටිය ගංගාරාමයේ මහා හංස ජාතකය රැගත් තොරණ ද, කොටුව ගාලුමුවදොර ආසන්නයේ කච්චායන ජාතකය රැගත් තොරණ ද, තොටළඟ යශෝධරා චරිතාපදානය රැගත් තොරණ ද ප්‍රදර්ශනය කෙරිණි.

මෙම තොරණ අද (08 දා) දිනයේදී ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

නෙළුම් කුලුණ බෞද්ධ කොඩිය හැඩයට අලංකාරවත්ව විදුලි බුබුළු වලින් වර්ණවත් කර තිබෙනු දක්නට ලැබිණි.

වැලිකඩ බන්ධනාගාරය අසල ද වෙසක් සැරසිලිවලින් හැඩ වැඩ වී තිබිණි.

2018 න් පසු වෙසක් සිරි නැරඹීමට කොළඹ නගරයට අති විශාල පිරිසක් මෙවර එක් රොක්වී සිටින ආකාරය දක්නට ලැබිණි. තම අත දරුවන්ද සමඟ කොළඹ වෙසක් නරඹන පිරිස ද වූහ.

මෙම වෙසක් සතිය පුරාම තොරණ, දන්සල්, පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට බෞද්ධ සැදැහැවත්හු සූදානම්ව සිටිති.

කොළඹ නගරයේ මෙන්ම ආසන්න නගරවලද වෙනදාටත් වඩා දන්සල් විශාල සංඛ්‍යාවක් මෙවර සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය. ඒ අනුව බත් දන්සල්, කඩල දන්සල්, අයිස්ක්‍රීම් දන්සල්, මඤ්ඤොක්කා දන්සල්, සීනි සම්බල් පාන් දන්සල්, සිසිල් බීම දන්සල්, ඇතුළු දන්සල් රාශියක් සංවිධානය කර තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment