වසර දෙකකට පසුව විදෙස් තරග තීරකවරයෙක් සහ විනිසුරුවරුන්

843

ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (07 වැනිදා) සිට ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියන්හි තරග තීරකවරුන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතාට අමතරව ඉන්දීය ජාතික ජවගාල් ශ්‍රීනාත් මහතාත් තරග තීරකවරයකු ලෙස කටයුතු කරයි.

දෙරට අතර පළමුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත 20 – 20 තරගාවලිය සහ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී දේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතත් ටෙස්ට් තරගාවලියේදී සුපුරුදු පරිදි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඬුල්ලේ විනිසුරුවන්ගේ දායකත්වය ලබා
ගැනීමට පියවර ගෙන ඇත.

ගෙවී ගිය වසර 2 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියක් සඳහා විදෙස් රටවලින් තරග තීරකවරයකු සහ විනිසුරුවරුන් පැමිණෙන පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලිය සනිටුහන් වේ.

ඒ අනුව ටෙස්ට් තරගාවලියේදී සුපුරුදු පරිදි කුමාර ධර්මසේන ප්‍රධාන විනිසුරුවරයකු ලෙස ඇතුළත් වද්දී සෙසු ප්‍රධාන විනිසුරුවන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඬුල්ලේ සාමාජිකත්වය ලද එංගලන්ත ජාතික මයිකල් ගෆ් සහ ඉන්දීය ජාතික නිටින් මෙනන් යන මහත්වරු කටයුතු කරති. ඔවුන් දෙදෙනාට අමතරව රුචිර පල්ලියගුරුගේ සහ ලින්ඩල් හැනිබල් මහත්වරු ද ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටින විනිසුරු මඬුල්ලට ඇතුළත්ව සිටිති.

තරග තීරක සහ විනිසුරු මණ්ඩලය

තරග තීරකවරුන් – රංජන් මඩුගල්ලේ මහතා (අන්තර්ජාතික තරග තීරක මඩුල්ලේ ප්‍රධානී)

ජවගල් ශ්‍රීනාත් මහතා (අන්තර්ජාතික තරග තීරක මඩුල්ලේ සාමාජික)

එක්දින සහ විස්සයි – 20 තරග සඳහා නම් කරන ලද විනිසුරුවරුන් – කුමාර ධර්මසේන (අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඬුල්ල, රුචිර පල්ලියගුරුගේ (අයි.සී.සී. විනිසුරු), රවීන්ද්‍ර විමලසිරි (අයි.සී.සී. විනිසුරු), ලින්ඩල් හැනිබල් (අයි.සී.සී. විනිසුරු), ප්‍රගීත් රඹුක්වැල්ල (අයි.සී.සී. විනිසුරු)

ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද විනිසුරුවරුන් – කුමාර ධර්මසේන අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඬුල්ල), මයිකල් ගෆ් (අයි.සී.සී, ප්‍රධාන විනිසුරු මඬුල්ල), නිටින් මෙනන් (අයි.සී.සී. ප්‍රධාන විනිසුරු මඬුල්ල), රුචිර පල්ලියගුරුගේ (අයි.සී.සී. විනිසුරු), ලින්ඩල් හැනිබල් (අයි.සී.සී. විනිසුරු)

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment