වසර දෙකකදී ඩොලර් මිලියන 100 ක් ක්‍රිකට් ගිණුමට ඉතිරි කරනවා

187

දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිටත් දන්වා තිබෙනවා
ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ තවම තීරණයක් නැහැ
තෙවැනි වරටත් ක්‍රිකට් සභාපති වූ ශම්මි සිල්වා කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට හානි පැමිණ තිබෙනවා – ලේකම් මොහාන් ද සිල්වා

මූල්‍ය අතින් ශක්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව ඉදිරි දෙවසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ගිණුමේ ඉතිරි කිරීම බව අඛණ්ඩව තෙවරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වශයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

2023 – 2025 දක්වා කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නියෝජිතයන් තෝරා ගැනීම නිමිත්තෙන් කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ දී පෙරේදා (20 වැනිදා) පැවැති නිලවරණයේදී දෙවන වරටත් නිතරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස පත් ශම්මි සිල්වා මහතා අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කළේය.

ලේකම් ධුරය සඳහා ද නිතරගයෙන් මොහාන් ද සිල්වා මහතා තේරී පත්වූ අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ලෙස තේරී පත් වූ තෙවැනි අවස්ථාව ලෙස ද මෙම අවස්ථාව සැලකේ. අදාළ නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීම ඡන්ද විසීමකින් තොරව පැවැති අතර හිටපු උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා භාණ්ඩාගාරික වශයෙන් පත් වූයේය.

උප සභාපති තනතුරට ජයන්ත ධර්මදාස හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ද උප ලේකම් තනතුරට ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ද තේරී පත්වූයේය. උප භාණ්ඩාගාරික තනතුර සඳහා අයකු ක්‍රිකට් ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී පත්කර ගැනීමට නියමිතය.

ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග හා ක්‍රීඩා ඇමැතිතුමා සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ලවී ඇතැයි පැවසෙන දේශපාලන බලපෑම් පිළිබඳව එහිදී මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කළේ ක්‍රිකට් ආයතනයට එවැනි ප්‍රශ්නයක් ඇති බවත් එම දේශපාලන බලපෑම් සම්බන්ධව මෙම සභාවේ දී ප්‍රකාශ කිරීමට නොහැකි බවත්ය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිතුමාටත් දන්වා තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේය.

ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම තම ප්‍රධාන අරමුණ බවත් ජාත්‍යන්තර මට්ටමේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ද ප්‍රධාන බලාපොරොත්තුවක් බව ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

“දැනට අපට ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 4ක් තිබෙනවා. ආර්. ප්‍රේමදාස, සූරියවැව, දඹුල්ල හා පල්ලේකැලේ ඒ ක්‍රීඩාංගණ 4යි. නමුත් දැන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට එවැනි තත්ත්වයේ ක්‍රීඩාංගණ 5ක් අවම වශයෙන් රටකට තිබිය යුතුයි. ඒ නිසා අප යෝජනා කළා දියගම ක්‍රීඩා පිටියක් හදන්න. ඒක ජනාධිපතිතුමා සමග සාකච්ඡා කොට සාර්ථක කර ගැනීම අපේ ඉදිරි බලාපොරොත්තුවයි. දියගම ක්‍රීඩා පිටිය වැදගත් වන්නේ අධිවේගී මාර්ග පද්ධතිය ඒ

ක්‍රීඩාංගණය අසලින් යන නිසයි. දියගම ක්‍රීඩාංගණය හැදුවාම අයිසීසී එක ඉල්ලන අවශ්‍යතා සම්පූර්ණ කොට අවසන්. ලබන වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ තවම අවසන් තීරණයක් නැහැ” ශම්මි සිල්වා මහතා එහිදී පැවැසීය. අයිසීසීය වාර්ෂිකව මුදල් ලබාදෙන ක්‍රමවේදය පිළිබඳව තම කැමැත්ත ප්‍රකාශ කළ බවද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන අනුග්‍රාහක දායකත්වය පිළිබඳ ගණනය කොට මේ අලුත් තක්සේරු ක්‍රමවේදය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සකස් කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. අනුග්‍රාහක තක්සේරුව සියයට 90ක් පමණ වැඩි ඉන්දියාවට වැඩි මුදලක් යෑම සාමාන්‍ය දෙයක් බවත් ශ්‍රී ලංකාවට ද වාර්ෂිකව ඩොලර් මිලියන 15ක් 16ක් විතර වැඩිවී තිබෙන බවද ඒ මහතා පැවසීය.

“අපි ක්‍රිකට්වලට අමතරව අනෙක් ක්‍රීඩා දියුණුවට විශාල මුදලක් යොදවනවා. එයට අමතරව ඇතැම් පාසල්වල යටිතල පහසුකම් හා සමාජීය අවශ්‍යතා වෙනුවෙන් වෙනම අරමුදලක් පිහිටුවනවා. ලෝක කුසලානයට යන නෙට්බෝල් කණ්ඩායමට රුපියල් මිලියන 25ක් අනුමත කළා. තව මලල ක්‍රීඩා, මොටර් රථ ක්‍රීඩා තරග වැනි දේ සඳහාත් ළඟදී මුදල් ලබා දුන්නා. කාන්තා ක්‍රිකට් දැන් දියුණු වෙමින් තියෙනවා. ඉදිරියේදී පාසල් කාන්තා මහා ක්‍රිකට් තරග පවත්වා දක්ෂ ක්‍රීඩිකාවන් බිහි කිරීමට වැඩපිළිවෙළක් ඇති කොට තිබෙනවා” යැයි ද ශම්මි සිල්වා මහතා සඳහන් කළේය.

වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් නොවන බවද තමන්ට ස්වාධීනව කටයුතු කරගෙන යෑමට වුවමනාව තිබුණ ද එලෙස කටයුතු කිරීමට අපහසු බොහෝ දේවල් තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතා එම මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නියෝජිතයන් සමග ද දීර්ඝව සාකච්ඡා කළ බවද ඒ දුක්ගැනවිල්ල ඔවුන්ට පැහැදිලි කර පෙන්නා දුන් බවද නිලවරණයකින් තේරී පත්වූ පිළිගත් නිලධාරී මණ්ඩලයක් ලෙස තමන්ට විශ්වාසයක් තිබෙන බවද ඒ මහතා පැවසීය.

“අප දන්නවා අපේ වගකීම්. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මහජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අපේ ප්‍රධාන වගකීමක්. වගකීම්වලට බැඳී ඇත්තේ සාමාජිකයන්ට පමණයි. අපට විරුද්ධව යමක් කරනවානම් ඒ කළ හැක්කේ සාමාජිකයන්ට පමණයි. අප ක්‍රීඩා අමාත්‍යාංශය සමගත් ක්‍රියා කළ යුතුයි. මොනවා වුණත් අප නිලවරණයකින් පත්වූ නිලධාරී කණ්ඩායමක් නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග විශාල විශ්වාසයකින් වැඩ කරනවා” මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් මගින් නිලවරණ කටයුතු මෙහෙයවන ලදී. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන සුනිල් සිරිසේන යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ ය.

සභාපති – ශම්මි සිල්වා
ලේකම් – මොහාන් ද සිල්වා
උප සභාපති – ආචාර්ය ජයන්ත ධර්මදාස
උප සභාපති – රවීන් වික්‍රමරත්න
භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද
උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත මහතා

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment