වසර දෙකක් නිහඬව සිටි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නොවැම්බරයේදී

133

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් දෙවසරක් තිස්සේ පවත්වන්නට නොහැකි වුණු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල එළඹෙන නොවැම්බර් මස 22, 23, 24, 25 සහ 26 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සංවිධායකයින් වන අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය, ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන) දයා බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රුවන් පතිරණ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දිල්රුක් ජයවර්ධන හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රභාත් ඉන්දික යන මහත්වරුන් විසින් මෙවර තරගාවලියේ මූලික සංවිධාන කටයුතු මේ දිනවල සිදු කර ගෙන යනු ලබයි.

සුපුරුදු පරිදි අන්තර් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන මෙවර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියට අවුරුදු

20 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 17 න් පහළ (බාලක සහ බාලිකා) සහ අවුරුදු 12 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් ඇතුළත් වේ.

මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට අයත් කණ්ඩායම් ක්‍රීඩා සහ බර පංති ක්‍රීඩා එළඹෙන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මස තුළ අදියර තුනක් යටතේ පැවැත්වෙයි.

එහි පළමු අදියර තරග සැප්තැම්බර් මස 17, 18 සහ 19 යන දිනවල ද දෙවැනි අදියර තරග සැප්තැම්බර් මස 23, 24, 25 සහ 26 යන දිනවල ද තෙවන අදියර තරග ඔක්තෝබර් මස 01, 02, 03 සහ 04 යන දිනවල දී ද පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ පළමු වටයට අයත් අධ්‍යාපන කලාප පාසල් ක්‍රීඩා තරග ජුනි මස 15 දිනට පෙර ද, පළාත් තරග සැප්තැම්බර් මස 10 දිනට පෙර ද, පවත්වා අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය නිවේදනය කර සිටී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment