වසර හයකට පසුව උදා වූ වරම වැරදි හතරකින් මඟ හැරේ

463

ශ‍්‍රී ලංකා යොවුන් කි‍්‍රකට් කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ වී ගියේය. ඇෆ්ගනිස්ථානය හමුවේ පිතිකරුවන් හතර දෙනෙක් දුවද්දී දැවී ගොස් සිහිනය බොඳ වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ හෙට (31 වැනිදා) දකුණු අපි‍්‍රකාව සමග තරග වදිති. හෙට සිට
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සටන ඇරඹෙන්නේ තරගාවලියේ 05 වැනි, 06 වැනි, 07 වැනි සහ 08 වැනි ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරග වටය යටතේය.

එහිදී ශී‍්‍ර ලංකාවට 05 වැනි ස්ථානයට පැමිණෙන්ට හැකි නම් හොඳය. 08 වැනි ස්ථානයට නම් අමුතුවෙන් සටනක් දිය යුතු නැත. ශී‍්‍ර ලංකාව අර්ධ අවසන් පූර්ව තරග වටයට පිවිසුණේම හොඳම කණ්ඩායම් 8 බවට පත් වීමෙනි.

එහෙත් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යෑමට නොහැකි වූ ඔවුන්ට දැන් නිර්මාණය වී තිබෙන්නේ ඒ සමගම පරාජය හතරකට මුහුණ දුන් කණ්ඩායම් 4 ක් සමග තරගයකටය. එනම් අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වූ කණ්ඩායම් හතර අතරේ සටනට ශී‍්‍ර ලංකාව දැන් එක් වී ඇත.

තෙවතාවක් ලෝක කුසලානය දිනූ ඔස්ටේ‍්‍රලියාවත්, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වනුත් පහසුවෙන් පරාජය කළ ශී‍්‍ර ලංකාව ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට වීම දරා ගන්නට බැරි කාරණාවකි. එහෙත් ඇත්තම කතාව නම් ඇෆ්ගනිස්ථානය ද දක්ෂ කණ්ඩායමකි. ජාතික කණ්ඩායම මෙන්ම සීමිත පන්දුවාර තරගවලදී දක්ෂ ලෙස කී‍්‍රඩා කරන ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියේ සිටි ප‍්‍රබල කණ්ඩායමකි. එහෙත් පරාජය වූයේ ඔවුන්ගේ එම දක්ෂතාවය මත නොව ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේම නොසැලකිල්ල මත වීම නැවත සිතා බැලිය යුතු කාරණාවකි. පිතිකරුවන් හතර දෙනකුම දුවද්දී දැවී යෑම ඇෆ්ගනිස්ථානයේ දක්ෂතාවක් නොවන්නේය. එය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දුර්වලතාවකි. නොසැලකිල්ලකි. නොසැලකිල්ලෙන් කඩුලූ අතර දුව කී‍්‍රඩකයන්ව දවා ගැනීම ද දක්ෂතාවක් බව සැබෑය. එහෙත් ඒ ප‍්‍රතිවාදීන්ට ඉඩ ලබාදීම නොසැලකිල්ල මුල් වූ කාරණාවකි. විශේෂයෙන් අර්ධ අවසන් පූර්ව තරගයකදී එවැන්නක් සිදුවීම එක් අතකට ආභාග්‍යකට කරුණකි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී පළමුව පරාජයට පත් වූයේ දකුණු අපි‍්‍රකාවයි. ඔවුන් එංගලන්තය හමුවේ පරාජය වූ අතර පකිස්තානය සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරගය පෙරේදා (සිකුරාදා) ත්, ඉන්දියාව සහ බංග්ලාදේශ අතර තරගය ඊයේ (29 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණි.

වසර හයකට පසුව උදා වූ වරම වැරදි හතරකින් මඟ හැරේ

මෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය සමග අවසන් පූර්ව තරගය වටයට පිවිසෙන අතර අනෙක් කණ්ඩායම් දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව සමඟ අංක 05 සිට 08 දක්වා ස්ථාන ලබා ගන්න සටන් වදී. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව මෙවර අර්ධ අවසන් පූර්ව වටයට ප‍්‍රවේශ වූයේ වසර 6 කට පසුවය. මීට පෙර 2016 වසරේදී චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා යොවුන් පිල අර්ධ අවසන් තරග කරා ගියේය. දැන් චරිත් ශී‍්‍ර ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ උප නායකයා ලෙස නුදුරු දිනකින් ඔස්ටේ‍්‍රලියාව සමග තරගාවලියකට ප‍්‍රවේශ වේ.

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම තුළින් මෙවර මේ දක්වා දිස්වුණු දස්කම අගය කළ යුතු වේ. ඇෆ්ගනිස්ථානය සමඟ කළ වැරදි හැරෙන්නට ඔවුහු මූලික වටයේ දක්ෂ ලෙස කී‍්‍රඩා කළහ. එහිදී තරගාවලිය තුළින් මතු කර ගත් කී‍්‍රඩකයෝ බොහෝ වෙති.

ඒ අතරින් දුනිත් ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඔහු තරග හතර තුළදී දැක්වූ දස්කම් ඉතා අගනේය. තරග 4 කදී කඩුලූ 16 ක් දවා ගත් ඔහු පිත්තෙන් ලකුණු 141 ක් ලබා ගෙන ඇත. ශී‍්‍ර ලංකාව සහභාගි වූ තරග 4 න් දෙකකම වැඩිම කඩුලූ ලාභියා දුනිත්ය. තරග හතරෙන් දෙකක වැඩිම ලකුණු ලාභියා ද ඔහුය. ඔහු දඟ පන්දු යවන්නෙකි. මෙවැනි දක්ෂතා ඇති කී‍්‍රඩකයන් බිහි වන්නේ කලාතුරකිනි. එවැන්නන් ලෙස ජගත් කි‍්‍රකට් පිටියෙන් සකිබ් අලි හසන්, සනත් ජයසූරිය වැනි අය උදාහරණ ලෙස ගෙන දැක්විය හැක. එහෙත් ඊට කල් වැඩිය. දුනිත් දැන් තමාගේ අනාගතය හදාගත යුතුය.

එසේම ඇෆ්ගනිස්තානය හමුවේ තරගයේදී ලකුණු 10 කට කඩුලූ 5 ක් දවා ගත් විනුජ රනුපුල්ගේ පන්දු යැවීම තරගාවලියේ එතෙක් හොඳම තෙවැනි පන්දු යැවීම ලෙස වාර්තා විණි. විනුජ රන්පුල් තරගාවලිය පුරාවට කී‍්‍රඩා කළ එකම තරගය ද එය විය. මතීෂ පතිරණ ආබාධයකට ලක් වීම නිසා ඇති වූ වේග පන්දු යවන්නාගේ හිඩැස පිරවූ විනුජ පන්දුවාර 9 යි පන්දු 1 කදී කඩුලූ 5 ක් බිඳ දැමුවේය. එම සටහනේ අංක 04 සහ 06 ස්ථානවල සිටින්නේ නායක දුනිත්ය.

තරගාවලියේ කඩුලූ 5 ක් අවස්ථා දෙකකදී දවා ගත් දුනිත් ඉන් එක් තරගයකදී අර්ධ ශතකයක් ද ලබා යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ලෝක වාර්තාවක් ද තබා ඇත.

ස්කොට්ලන්තයට එරෙහි පළමු තරගයේදී සකුන ලියනගේ පන්දු 85 කදී ලකුණු 85 ක් ලබා ගත්තේය. එසේම කොදෙව්වන්ට එරෙහිව තරගයේදී සදිෂ රාජපක්ෂ ආරම්භක පිතිකරු ලෙස ලකුණු 75 ක් ලබා ගත්තේය. සදිෂ, සකුන, අංජල පිතිකරුවන් ලෙස ද යසිරු රොද්‍රිගු, ටෙ‍්‍රවින් මැතිව්, මතීෂ පතිරණ පන්දු යවන්නන් ලෙස දුනිත්ට සහ විනුජට අමතරව මෙම තරගාවලියේ ද ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අනාගතය බලාපොරොත්තු ගෙන දුන් කී‍්‍රඩකයෝ වෙති. එමතු නොව තවත් තරග දෙකක් ඔවුන් අභිමුවේ පවතී. එම තරගවලදී ද දස්කම් පෙන්වා ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන්නට සුදුසුකම් පෙන්වීම ඔවුන්ගේ කාර්යයකි. එවැනි දක්ෂයින් රැක ගැනීම, ඔවුන්ට නිසි මඟ පෙන්වීම බලධාරීන් සතු වගකීමකි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment