වසර 13 කට පසු ජෙයරාජ් ඝාතනය ගැන පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ සුලමුල හෙළි කරයි

1091

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 13ක් 2008 අප්‍රේල් 06දා කොටි බෝම්බයකින් වැලිවේරියේදී ඝාතනය විය. මෙම ඝාතනයට සහාය දැක්වූ බවට චෝදනා කරමින් ගම්පහ පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ 2009 අගෝස්තු 19දා අත්අඩංගුවට ගැනුණි. එදා සිට වසර 13 කට පසු එනම් සැප්තැම්බර් 01දා ගම්පහ මහාධිකරණය ඔහුව නිදොස්කොට නිදහස් කරනු ලැබීය.

ඒ වනවිට නීතිපතිවරයා ඔහුට චෝදනා 32ක් ගොනු කර තිබිණි. එහෙත් ත්‍රස්ත මර්දන ඒකකයට ඔහුට එරෙහිව සාක්ෂි සනාථ කිරීමට නොහැකි විය.

ත්‍රස්ත මර්දන ඒකකයේ රඳවා සිටියදී ඔහුගේම පොලිස් නිලධාරීන් සිගරට් කොටවලින් සිරුර පුලුස්සනු ලැබූහ. මම ද්‍රෝහියෙක් නොවෙයි. කොටි සමග මගේ කිසිම සබඳතාවක් නැහැ යැයි ඔහු තමාට වධහිංසා පැමිණ වූ පොලිස් නිලධාරීන්ට පැවසීය.

තමාට වධහිංසා සිදුකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිරුරේ කැළැල් 32ක් ඇති බව තහවුරු කරමින් අධිකරණයට පැමිණිලි කරනු ලැබීය.

වසර 13 කට පසු ජෙයරාජ් ඝාතනය ගැන පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ සුලමුල හෙළි කරයි

ලක්ෂ්මන් කුරේ සමග වැලිකඩ සහ බූස්ස රැඳවුම් කඳවුරේ සිටි සේරා අම්මාන් පදුමන් සහ කොටි ගුවන් ඒකකයේ නායක ගුශාන්තන්, හමුදා කපිතාන් ඉන්දික සංජීව ඇතුළු කොටි හමුදා නායකයන් පසුගිය කාලයේ ධන බලය මත නිදහස් විය. ත්‍රස්ත මර්දන ඒකකයට ත්‍රිකුණාමල කොටි හමුදා නායක පදුමන්ගේ නියම නම සොයාගත නොහැකි විය. අවසානයේ ලක්‍ෂමන් කුරේගේ කථිකාචාර්යවරියක් වූ බිරියට ද තර්ජන එල්ල විය. උඹ වරද පිළිනොගත්තොත් බිරියට ද හිංසා කරනවා යැයි පොලිස් නිලධාරියෙක් තර්ජනය කළේය.

නොකළ වරදක් පිළිගන්නේ කෙසේද යැයි ඔහු එම පොලිස් නිලධාරියාගෙන් විමසීය.

ලක්ෂ්මන් කුරේ රැඳවුම් භාරයේ සිටියදී ඔහුට වධහිංසා කළ ත්‍රස්තමර්දන පොලිස් නිලධාරීන් අද විශ්‍රාම ගොසිනි. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු රජයේ ගුවන්විදුලිය ඔහුව හඳුන්වනු ලැබුවේ කාලකන්නියා ලෙසිනි. එසේම බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබාගැනීමේ අරමුණින් මුස්ලිම් සහ ද්‍රවිඩ තරුණයන් පිරිසක් ලක්ෂ්මන් කුරේගේ නම භාවිතා කරමින් තමන් ඔහු සමග සබඳකම් පැවැත්වූ බවත් ත්‍රස්ත මර්දන ඒකකය තමන්ව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරන බවත් දක්වමින් බ්‍රිතාන්‍ය සරණාගත කාර්යාලයට ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර පොලිසිය යොදවනු ලැබූ මුස්ලිම් සාක්කිකරුවකු හදිස්සියේම මිය ගියේය. විවාහ වී දින 3 කට පසු අත්අඩංගුවට ගැනුණු මේ පොලිස් අධිකාරිවරයා කොටි සමග එක්ව ක්‍රියාකළේ ද යන ප්‍රශ්නය උසස් පොලිස් නිලධාරීන්ට ද ප්‍රශ්නයක් විය. ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අත්අඩංගුවේ සිටියදී උසස් පොලිස් නිලධාරීන් මුදල් ඇති ත්‍රස්තයන්ට සලකන ආකාරය ඔහු දුටුවේය.

මෝදර ව්‍යාපාරිකයකුට නිවසේ සිට ආහාර පාන ගෙන ඒමටත් මදුරු දැලක් ලබාදීමටත් පොලිසිය ක්‍රියාකරනු දුටුවේය.

මේජර් ජනරාල් සුමිත් මානවඩු මැලේසියාවේදී අල්ලා ගත් කොටි ගුවන් ඒකකයේ නායක ගුශාන්නත් මාස්ටර් නිදහස් කර යැවීමට ත්‍රස්ත මර්දන ඒකකය ක්‍රියාකළේය. ඔහු ප්‍රංශය බලා යෑමට පෙර ලක්ෂ්මන් කුරේට පැවසුවේ සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කළ හැකි බවයි.

කටුනායකට සහ කොළඹට බෝම්බ දැමීම මෙහෙය වූ ගුශාන්තන්ගේ පවුලේ අය සිටින්නේ පැරීසියේය.

තමා සමග රැඳවුම් භාරයේ සිටි කොටි මාස්ටර්ලා 16ක් නිදහස ලබා සිරෙන් යද්දී ලක්ෂ්මන් කුරේ බලා සිටියේය.

ඔහුට එරෙහිව ගම්පහ අධිකරණයේ සහ කොළඹ මහා අධිකරණයේ නඩු දෙකක් ගොනු කර තිබිණි.

මේ එක් නඩුවකට මුල් වූයේ විජය කුමාරතුංග ඝාතනයේ සැකකරු ටාසන් වීරසිංහ මහ රෑ රහස් පොලිසියෙන් ඉවතට රැගෙන ගිය බවට බරපතළ චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියෙකි.

මේ පොලිස් නිලධාරියා විශ්‍රාම ගොස් ඇති අතර ඔහුගේ වත්කම් මෙතෙක් විමර්ශනය කර නැත.

මේ අතර ජෙයරාජ් ඝාතන නඩුවේ එක් සාක්කිකරුවකු වූ මොහොමඩ් අසාර් හදිසියේ මිය ගියේය.

එසේම ජා ඇල පදිංචිකරුවකු වූ ටිරොන් ද නිදහස් විය. කොළඹ කොටි ආයුධ ගබඩාව භාරව සිටියේ අසාර්ය. ජෙයරාජ් ඝාතනයට බෝම්බය ලබාදුන්නේ අසාර් බව හෙළි විය.

මේ අතර ජෙයරාජ් ඝාතනය ගැන වසර 13ක් රැඳවුම් භාරයේ සිටි ලක්ෂ්මන් කුරේ ‘ඉරිදා දිවයින’ සමග විශේෂ සාකච්ඡාවකට එක් විය. පොලිසිය මට එරෙහිව සාක්කි ගෙතුවා. උතුරේදී කොටි මාව ඝාතනයට කිරීමට දැරූ උත්සාහයෙන් ද මා ගැලවුණා. ජෙයරාජ්ව ඝාතනය කිරීමට මා සහාය වූවා නම් අධිකරණය මාව නිදහස් කරයි ද? මෙම ඝාතනයට මා සම්බන්ධ නැති බව රැඳවුම් භාරයේ සිටි කොටි පැවසුවා. ජෙයරාජ් ඝාතනය කළේ ප්‍රභාකරන්ගේ නියෝග මත බව ඔවුන් පැවසුවා යැයි ලක්ෂ්මන් කුරේ හෙළි කළේය.

එසේම ත්‍රස්ත මර්දන ඒකයේ සිටි දරුණු කොටි නිදහස් වූ අයුරු පසුගිය ආණ්ඩු සමයේ හිටපු ජනපති පවා දන්නේ නැහැ යැයි ඔහු කීවේය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment