වසර 22කට පෙර පුද්ගලයකු මරා දැමූ අයියා මල්ලී දෙදෙනාට මරණීය දණ්ඩනය

592

වසර 22කට පෙර අම්බලන්තොට කඩවරදී පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කිරිම හා තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදුකළ අයියා මලෝ දෙදෙනෙකුට හම්බන්තොට පුර්වගාමී මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (18දා) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණේ අම්බලන්තොට, කොග්ගල්ල පදිංචි 42 හැවිරිදි එක් දරු පියෙකු වූ ජේ.එල්. බන්ධුල (අයියා) හා සිව් දරු පියෙකු වන 35 හැවිරිදි ජේ.එල්.ධම්මික (මල්ලී) නැමති අයියා මලෝ දෙදෙනෙකුටය.

චූදිතයින් දෙදෙනා විසින් 2000.06.23 වන දින අම්බලන්තොට කඩවරදී 22 හැවිරිදි හේවා විමුනිගේ ආරියතිලක නැමති අයව ඝාතනය කර තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදුකර තිබේ. අම්ලන්තොට ප‍්‍රදේශයේ සිය ඥාති නිවසක පැවති මංගල සාදයක් අතරතුරදී එක් අයෙකු ඇඟේ වැදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබේ. එහිදී චූදිතයින් දෙදෙනා සහ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු එක්ව පුද්ගලයෙකුට පහරදී පිහියෙන් ඇණ ඝාතනය කර තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදුකර තිබේ. සිද්ධියට අදාළව අම්බලන්තොට පොලසිය විසින් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකරුවන් හය දෙනාට එරෙහිව චෝදනා 05ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙනු ලැබිය.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගය අතරතුරදී එක් සැකකරුවෙකු මියගොස් ඇති අතර ඉතිරි සැකකරුවන් 05 දෙනාට එරෙහිව නඩු විභාගය පැවැත්විණි. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලු හම්බන්තොට පුර්වගාමී මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා 3,5 හා 6 චූදිතයින් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු අතර 1 හා 2 චූදිතයින් අදාළ චෝදනාවන් සඳහා වැරදිකරුවන් බවට තහවුරු කෙරුණි. ඒ අනුව හේවා විමුනිගේ ආරියතිලක නැමති අයව ඝාතනය කිරීමේ චෝදනාවට අදාළ චූදිතයින් දෙදෙනාට මරණීය දණ්ඩණය නියම කෙරුණි. නිතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශෙහාන් මුස්තාපා මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි. මරණීය දණ්ඩනය නියම කෙරුණු චූදිතයින් දෙදෙනාට ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය පමුණුවන තෙක් ආරක්ෂිතව රැුගෙන ගොස් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment