වසර 40 ක සේවා කාලය නිමකර ඉසිඹු ලැබූ නුගේගොඩ මහාමායාව බැබළවූ ගුරු මෑණියෝ

634

එවකට දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වූ තම ආදරණීය පියාණන්ගේ සහ එම මෑණියන්ගේ ආදරණීය දියණියක ලෙස 1961 දී මෙලොව එළිය දුටු ආර්. එම්. ගමගේ විදුහල්පති මෑණියන් ජීවිතයේ අනේක විධ බාධක කම්කටොලූ අතරින් 1981 වර්ෂයේදී දෙබරවැව ජාතික පාසලෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත්ව ගුරුවෘත්තියට පිවිස සූරියවැව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියක ලෙස ගුරු වෘත්තියට පිවිසෙන්නට විය. වත්මනෙහි මරදාන මහින්ද විද්‍යාලයේ විශ‍්‍රාමික විදුහල්පති එම්. ජී. නිමලසේන ගුරු පියාණන්ගේ දයාබර භාර්යාව ලෙසත්, දියණියන් තිදෙනකුගේ සෙනෙහෙබර මවකද වන ආර්. එම්. ගමගේ මෑණියන් වසර 17 වූ තම දුෂ්කර පාසල් සේවය නිමා කරමින් 1999 වර්ෂයේදී කොළඹ තර්ස්ටන් විද්‍යායට ස්ථාන මාරු වීමක් ලබා ගනිමින් තම ඉලක්කයන් සපුරා ගැනීමට මුල් පියවර තබමින් කොළඹ ප‍්‍රදේශයට පැමිණියාය.

වසර 7 ක කාලයක් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරු භූමිකාවෙන් පසු 2007 වර්ෂයේදී ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාපලන සේවා විභාගය සමත්ව සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවක ලෙසත් අනතුරුව රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙසත් කටයුතු කළ අතර 2008.11.13 දින නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ලෙස පත්වීම ලබා විද්‍යාලයේ ස්වර්ණමය යුගය බිහි කිරීමට අත්පොත් තැබුවාය.

විදුහල්පති මෑණියන්ට එහිදී පාසල් සංවර්ධන සමිතියෙන් ලැබුණු මුල්ම අභියෝගය වූයේ පාසලේ ඉදිරිපස පිවිසුම සමීපයේ නව බුදුමැදුර ඉදිකිරීමයි. එම අභියෝගය ජය ගනිමින් දින 90 ක් වැනි කෙටි කාලයකදී දර්ශනීය බුදුමැදුරක් 2009.05.19 දනට යෙදුණු පාසල් ජන්ම දිනයේදී සිසු අයිතියට පත්කරන ලදී.

විදුහල්පති මෑණියන්ගේ මෙහෙයවීමෙන් 2009 වර්ෂයේ සිට අඛණ්ඩව පාසල් මාතාවගේ

උපන් දිනයට සමගාමීව වාර්ෂිකව සර්වරාති‍්‍රක පිරිත් පින්කමක් හා සංඝගත දක්‍ෂිණාවක් සංවිධානය කළ අතර එමඟින් සිසු දියණියන් තුළ ආධ්‍යාත්මික හැඟීම් ජනිත කරවීමත් දන්දීමේ අගය පිළිබඳ අවබෝධය ලබාදීමත් තුළින් ඔවුන්ගේ ආකල්පමය සංවර්ධනයත් සංවිධානාත්මක හැකියාව වර්ධනය කිරීමටත් කැපවී කටයුතු කරන ලදී. ආර්.එම්. ගමගේ

විදුහල්පති මෑණියන්ගේ උපදෙස් මත 2009 වර්ෂයේදී ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කරමින් 2014 වර්ෂයේ දී ප‍්‍රථම වරටත් ඉන් අනතුරුව 2019 වර්ෂයේදීත් පාගමනක් සංවිධානය කරමින් මහාමායාවේ අභිමානය ලොවට විදහා දක්වන්නට දියණියන්ට අවකාශය සලසා දෙන ලදී. කී‍්‍රඩා කුසලතා ඔප්නංවාලීමේ හා සමබර පෞරුෂයක් දියණියන් තුළ ඇති කිරීමේ අරමුණින් බැඞ්මින්ටන් කී‍්‍රඩාව, චෙස්, කරාතේ, කැරම්, පිහිනුම්, දැල් පන්දු, අත්පන්දු, මිටිය විසිකිරීම, ජූඩෝ වැනි කී‍්‍රඩා රාශියක් මහාමායාවියන්ට දායාද කළ අතර ජූඩෝ කී‍්‍රඩාවෙන් ජාත්‍යන්තර ජයග‍්‍රහණ මෙන්ම පිහිනුම් කී‍්‍රඩාවෙන් හා මිටිය විසි කිරීමේ ඉසව්වලින් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් ද පිහිටුවමින් ජාතික මට්ටමේ ශූරියන් බිහි කිරීමට නියමුවරිය වූයේ විදුහල්පති මෑණියන්ය.

නාට්‍ය අංශය විද්‍යාලයේ කැපී පෙනෙන අංශයකි. 2010 වර්ෂයේදී ආරම්භ වූ නාට්‍ය සංගමය මේ දක්වා පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරමින් ටවර් හෝල් පදනම මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා නාට්‍ය තරගාවලිය නියෝජනය කරමින් අඛණ්ඩව සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය අත්කර දීමට පුරෝගාමී වූයේ එතුමියයි.

විදුහල්පතිනියගේ මගපෙන්වීම මත සිසු කුසලතා අගයමින් තවදුරටත් එම කුසලතා ඔප්නංවා ගැනීමට උපස්ථම්බන ලබාදීමේ අරමුණින් 2011, 2015, 2017 හා 2019 යන වර්ෂවලදී ත්‍යාග ප‍්‍රදානෝත්සව සංවිධානය කරන ලද අතර දියණියන්ගේ එම කුසලතා දියුණු කර ගැනීමට තම නොමසුරු දායකත්වය ලබාදුන් ගුරු මෑණිවරුන් හා පියවරුන් ඇගයීමට ලක් කිරීම ද සිදුකරන ලදී. 2015 වර්ෂයේදී උසස් පෙළ තාක්‍ෂණ විෂය ධාරාව හදාරන දියණියන්ට ඒ සඳහා සියලූ පහසුකම් සහිත තාක්‍ෂණ පීඨයක් දායාද කරමින් වඩාත් ප‍්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් ලබාදීමට විදුහල්පති මෑණියන් යුහුසුළුව කටයුතු කරන්නට විය. එසේම පාසල සඳහා ති‍්‍රරෝද රථයක් ලබා ගැනීමට මූලික අඩිතාලම යොදන ලද්දේ ද එතුමිය විසිනි. 2017 වර්ෂයේදී නව තාක්‍ෂණය හා මුසුවෙමින් නව ඉගැන්වීම් ක‍්‍රම හරහා දියණියන්ට වඩාත් සමීප ඉගෙනුම් අවස්ථා ලබාදීම පිණිස සුහුරු පන්ති කාමරයක් විද්‍යාලයට දායාද වූයේ ද විදුහල්පති මෑණියන්ගේ
මගපෙන්වීමෙනි.

පාසල්පිරියත වඩාත් අලංකාර කිරීමේ අරමුණින් වත්මන් විද්‍යාලයීය නව ප‍්‍රවේශ දොරටුව හා මාර්ගය ඉදිකිරීම ද 2020 වර්ෂයේදී එතුමියගේ

මූලිකත්වයෙන් සිදුවූයේය. විද්‍යාලයීය අධ්‍යාපන මෙන්ම විෂය සමගාමී කටයුතු කෙරෙහි පාසල් ප‍්‍රජාව මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවද සමීප කරනු වස් එතුමියගේ සංකල්පයකට අනුව 2020 වර්ෂයේදී විද්‍යාලයීය වෙබ්අඩවිය නිර්මාණය විය.

අප විද්‍යාලයේ වසර 13 ක් වූ විදුහල්පති මෑණියන්ගේ සේවා කාලය තුළ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප‍්‍රතිඵල අනුව ශී‍්‍ර ජයවර්ධනපුර කලාපයේ මුල් පාසල් 10 අතර නිතැතින්ම රැුඳීමටත් වසරින් වසර ක‍්‍රමයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබන දියණියන් සංඛ්‍යාව වර්ධනය කර ගැනීමටත් අප පාසල භාග්‍යවන්ත වූයේ එතුමියගේ අප‍්‍රතිහත ධෛර්යය හා කැපවීමත් ඇදුරු මඬුල්ලට ලබාදුන් නිවැරදි නායකත්වයත් නිසාවෙනි. පුරා වසර 40 ක රාජ්‍ය සේවයටත් අප විද්‍යාලයේ වසර 13 ක සේවා කාලයටත් සමුදෙමින් විශ‍්‍රාම දිවියට එළඹෙන එතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත දිගාසිරි පිරි විශ‍්‍රාම දිවියක් වේවායි ඉත සිතින් පතන්නෙමු.

ආදි ශිෂ්‍ය සංගමය
මහමායා බාලිකා විදුහල
නුගේගොඩ.

advertistmentadvertistment
advertistmentadvertistment