වසර 6කට පසු ශ්‍රී ලංකාව අද කැන්ගරුවන්ට එරෙහි එක්දින සටන අරඹයි

315

වසර හයකට පසු ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ක්‍රියාත්මක වේ. දිවා රාත්‍රි තරගයක් ලෙසින් ක්‍රියාත්මක වන දෙරට අතර තරගය අද සවස 2.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.දෙරට අතර ක්‍රියාත්මක වූ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය සංචාරක කණ්ඩායමට හිමිවුවද එම තරගාවලියේ පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව අද තරගය සඳහා ජයග්‍රාහි මානසිකත්වයකින් ප්‍රවේශවීමට ශ්‍රී ලංකාවට හැකියව ලැබී තිබේ.දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 97ක් ක්‍රියාත්මක වී ඇති අතර ඉන් තරග 61කම ජය හිමිකර ගැනීමට ඔස්ටේ්‍රලියානුවෝ සමත්වී තිබේ. තරග 31ක ජය ශ්‍රී ලංකාවට හිමිවෙද්දී තරග 4ක් නොවිසඳුණු තරග ලෙස නිමාවට පත්වී තිබේ.

ඔස්ටේ්‍රලියාවට එරෙහිව අවසන් වරට එක්දින තරගාවලියක ජය පහස විඳීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ මීට වසර 12කට පෙරය. එනම් 2010 වසරේදී කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් යුතුව ඔස්ටේ්‍රලියාවේ එක්දින තරග සංචාරයක නිතර වූ ශ්‍රී ලංකාව එම තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත්විය. සිය මව්බිමේදී අවසන් වරට 1992 වසරේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව එම තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත්වී තිබේ. ඔස්ටේ්‍රලියාව අවසන් වරට 2016 වසරේදී ශ්‍රී ලංකාවේ එක්දින තරග සංචාරයක නිරත වූ අතර එම තරගාවලිය 4-1ක් ලෙස ජය ගැනීමට එහිදී ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත්විය. එම තරගාවලියේ පළමු තරගය අද තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම තරගයේදී කඩුලු 5ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

මේ අතර නිමාවට පත් වූ 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අවසන් වරට එක්දින තරගයකදී මුණගැසුණු අතර එම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 87ක පරාජයක් ලැබීය.දෙරට අතර නිමාවට පත්වූ විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඇතැම්විට එම තරගාවලියේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් වෙනුවට දිනේෂ් චන්දිමාල් හෝ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් එක්දින තරගාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් අයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී පළමුවරට ශ්‍රී ලංකා එක්දින සංචිතය නියෝජනය කිරීමට නවක ක්‍රීඩකයන් වන දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන් සහ ළහිරු මදුසංකට අවස්ථාව උදා වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ටේ්‍රලියානු එක්දින සංචිතය සඳහා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා නොකළ පැට් කමින්ස් නම්කර තිබේ. මිචෙල් ස්ටාර්ක් සහ කේන් රිචඩ්සන් ආබාධයන්ට ලක්වීම හේතුවෙන් අද තරගයට ජෝස් හැසල්වුඩ් සහ පැට් කමින්ස් කැඳවා තිබේ. මීට අමතරව වේග පන්දු යවන ස්කොට් බෝපන්ඩ් ද ඔස්ටේ්‍රලියානු සංචිතයට ඇතුළත්ව තිබේ. මීට අමතරව පිතිකරු ලැයිස්තුව ශක්තිමක් කරමින් මර්නස් ලබුස්චේන් කණ්ඩායමට කැඳවා තිබේ.ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, මශීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, ළහිරු මදුසංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්. ඔස්ටේ්‍රලියානු කණ්ඩායම – ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, මර්නස් ලබුස්චේන්, මාක්‍රොස් ස්ටොනිස්, ග්ලේන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි, ඇස්ටන් ආගර්, පැට් කමින්ස්, ජායි රිචඩ්සන්, ජෝස් හැසල්වුඩ්.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment