වසර 74ක් අපේ දේශපාලන නායකයෝ කළේ මිනිසුන් රවටන එකයි

65

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා

මේ රටේ දිගටම වසර 74 ක් තිස්සේ, අපේ දේශපාලන නායකයෝ කළේ බොරු කියමින් මිනිසුන් රවටන එක යැයි, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුහ.

2019 පාස්කු දින කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්ව මිය ගිය අයගේ අසරණ බවට පත් පවුල් වෙනුවෙන් ගනේමුල්ල, බොල්ලත, පහළ වත්තේ, අභිනවයෙන් ඉදිකරනලද සාන්ත අන්තෝනි නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සව සභාව අමතමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කර සිටියහ.

ඉතාලියේ කරිටාස් අන්තෝනියෝ ආයතනයේ පරිත්‍යාග යටතේ ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණයේ නිවාස දොළහක් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල් කීපයකට පවරාදීමට මෙදින කටයුතු කරන ලදී. එහිදී පැවැති උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් අගරදගුරු කාදිනල්තුමා වැඩි දුරටත් මෙසේද පැවසුහ. හිටපු ජනාධිපතිවරයා මට පෞද්ගලිකව පොරොන්දු වුණා, පාස්කු දින ඛේදවාචකය සම්බන්ධයෙන් විනිවිද පරීක්ෂණයක් කරනවා කියා. මුළු රදගුරු මණ්ඩලය ඉදිපිටදීත් ඔහු එම පොරොන්දුව දුන්නා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එතුමා අතට පත් වුණාට පස්සේ දැන් මට කියනවා එම කොමිෂන් සභා නිර්දේශ ඔක්කොම කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එතුමාට කරන්න බැරි නිර්දේශත් එහි තිබුණා කියන එකයි. මෙම සිද්ධිය පිළිබඳ කොමිෂන් සභා පදනම් වාර්තාවට අයත් කරුණු සඟවන්නේ ඇයි, කාට බයේද? මිනිසුන් එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි මෙම සිද්ධියෙන් 272 ක් මියගියා. 500ක් විතර තුවාල වුණා. ඇතැම් අය මුළු ජීවිත කාලයම රෝද පුටුවට නැතිනම් ඇඳට සීමා වෙලා. සිරිසේන ජනාධිපතිවරයා නේද, රටේ ආරක්ෂාව පිළිබඳ එදා හිටිය පළමු වැනියා. ඇයි එයා ජනාධිපති කොමිටි ඉල්ල, ඉල්ලා හැංගෙන්නේ. මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ මුස්ලිම් අන්තවාදින් විතරක් නොවෙයි, දේශපාලන කුමන්ත්‍රණයකුත් මෙහි තිබෙනවා. ඒ ගැන පාර්ලිමේන්තු තේරුම් කාරක සභා සමුළු සමරියේ සඳහන්ව තියෙනවා. මේ පිළිබඳ කියන්න ඕනේ හැම තැනකටම අපි කිව්වා, ලිඛිතව දැන්වූවා. පෙළපාලි ගියා, උද්ඝෝෂණය කළා. අපිට යන්න දැන් තැනක් නැහැ. ජාත්‍යන්තරයටත් මේ ගැන කිව්වා , අපි හෙටත් කියනවා. ශුද්දෝත්ම පාවුළු පාප්තුමා කියා තිබෙන අයුරින් අපි හැමවිටම ගන්නේ බලවතාගේ පැත්ත නොවෙයි, පීඩිතයාගේ පැත්තයි.

ශුද්දෝත්තමතුමා, මෙම වැරදි වලට කවදා හෝ දඩුවම් ලබා දෙන බවට අපට විශ්වාසයි. බුදු දහමට අනුවත් කර්ම විපාක පල දේවි යැයි අගරදගුරු හිමිපාණෝ පැවසුහ. මෙදින පැවැති උත්සව සභාවට කොළඹ අගරදගුරු පදවියේ සහයක ඇන්තනි රංජිත් පියතුමා, ඉතාලියේ සංක්‍රමණිකයන්ගේ ශ්‍රී ලංකා නියෝජිත නෙවිල් ජෝ , අගරදගුරු පදවි ඉඩම් හා දේපළ පරිපාලක නිහාල් ප්‍රදීප් සහ බොල්ලත කතෝලික මීසම් පාලක ඇන්ටන් නිරෝෂන් යන පියතුමන්ලා ඇතුළු සාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජක පියතුමන්ලා මෙන්ම රාජ්‍ය ආයතන නියෝජනය කරමින්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා චතුරිකා පින්තු , ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගි ගුණතිලක, ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ගුණවර්ධන, ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. දේවප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සම්භාවනීය ආරාධිත අමුත්තන් වශයෙන් එක්ව සිටියහ.

නෝමන් පලිහවඩන සහ ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment