වසල පැලැන්තිය

464

වී කිලෝවක සහතික මිල රුපියල් 55 කි. එහෙත් අස්වැන්න නෙළන දවසට පුද්ගලික අංශය කුඹුරටම ගොස් කිලෝව රුපියල් 70 ගණනේ ගොවියාගෙන් වී මිලට ගනී. ඒ නිසා ගොවියෝ ආණ්ඩුවේ සහතික මිල ගණන් නොගනිති.

 දේශපාලනඥයකු ගේ සහතික මිල අමිල ය. එහෙත් ඔවුන් කරන කුපාඩි වැඩ නිසා මිනිස්සු ඔවුන් ගණන් නොගනිති. ඒ අනුව දේශපාලනඥයකු ගේ සහතික මිල රුපියල් 2.50 හෝ 3 ක් වැනි අවම මිලකට තක්සේරු කිරීමට ඡන්ද දායකයෝ පුරුදුව සිටිති. තත්ත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් නරක් වන බැවින් මේ වනවිට කව්රුවත් දේශපාලනඥයන් තකන්නේ නැත. මිනිසුන් බලාසිටින්නේ කවර හෝ දේශපාලනඥයකුට කෙළවී ඇත්තේය යන ආරංචිය එනතුරුය.

 පොදු ජනයාට අලෙවි කිරීම සඳහා සතොස ට පිටරටින් ගෙනා සුදු ලූනු කන්ටේනර් දෙකක් පුද්ගලික අංශයට අලෙවි කිරීමේ සිද්ධියට අත දැමූ ඇමැතිවරයෙක් මෙකී වංචාව ගැන පරීක්ෂණ කරන නිලධාරියාට තර්ජනය කළ බව අපි ඊයේ මේ තීරුවෙන් සාකච්ඡුා කළෙමු. ඒ අතර තවත් පුවතක් තිබේ. අම්පාරේ රජවැව ප‍්‍රදේශයේ විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එහි ගිය වනජීවී ඇමැති විමලවීර දිසානායකට හූ කියා පන්නා හැරීමට ගොවීහු පියවර ගත්හ. විමලවීර දිසානායක යනු සාමාන්‍ය මිනිසුන් අතරින් මතු වූ සිංහල කතා කරන බුලත් කන අහිංසක මිනිහෙකි. ඉහත සඳහන් හූව තබන ලද්දේ විමලවීර දිසානායකට නොව මේ රටේ වෙසෙන සමස්ත දේශපාලනඥයන්ට ය. අනුරාධපුරේ හිර ගෙදරට බීමතින් කඩා වැදුණු රාජ්‍ය ඇමැතිවරයෙක් එල්.ටී.ටී.ඊ. සිරකරුවන් කිහිප දෙනකු බිම දන ගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කළේය. ඒ අතර ඩෝප් මරගාතේ නිසා ඔහුගේ අතින් ගිලිහුණු පිස්තෝලය බිම වැටුණේය. යම්කිසි විදිහකින් එම පිස්තෝලය ඇහිඳගත් එල්.ටී.ටී.ඊ. සිරකරුවෙක් රාජ්‍ය ඇමැතිට වෙඩි තැබුවා නම් එතැන් සිට අසන්නට ලැබෙන කතාව ඉතා දරුණු එකක් විය හැකිය. දේශපාලනඥයන්ගේ සහතික මිල අමිල මට්ටමේ සිට දෙකයි පනහේ මට්ටමට අඩු කරගෙන ඇත්තේ ඔවුන් විසින්මය. ශ‍්‍රී ලංකාව වූ කලී මධ්‍ය කාලීන යුගයේ සිටම වැඩවසම් ප‍්‍රභූ පැලැන්තිය (Fudal Aristocrats)  නමැති වසල පැලැන්තිය විසින් සූරාකන ලද රාජ්‍යයකි. ප‍්‍රභූවරුන් අතරින් දේශපාලනයට එන වැඩිදෙනා අනුක‍්‍රමයෙන් සිය වසල ගති පෙන්වන්නට පටන් ගනිති. අන්තිමේදී ඒ සියල්ලටම වන්දි වශයෙන් අවංක සහ පිරිසිදු දේශපාලනඥයන් ස්වල්පය ද පරිප්පු කති. ඉදිරියේදී ඔවුන්ට පරිප්පු කෑමට ද සිදුවන්නේ නැත. මන්ද යත් රුපියල් එකසිය විසි තිස් ගණන්වලට තිබූ පරිප්පු කිලෝව දැනටමත් රුපියල් දෙසිය පනහකි.

 ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය යහපත් අහිංසකයන්ගෙන් මෙන්ම රළු පරළු දාමරිකයන්ගෙන් ද පිරී ගිය තැනකි. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයා වූ ඞී. එස්. සේනානායක මහතා අන්තිම අහිංසක සිංහල ගැමියෙකි. කලිසම් කෝට් ඇඳි ඔහු අමුඩය ගසා කුඹුරුවලට බැස ගොවි ජනපද ව්‍යාපාරය නංවාලීම සඳහා මේ රටේ ගැමි ජනතාවට ආත්ම ධෛර්යය ලබා දුන්නේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක නායක එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ඉංග‍්‍රීසියෙන් ඉගෙනගෙන එංගලන්තයේ සිට ලංකාවට පැමිණ කලිසමෙන් රෙද්දට බැස සිංහලය රාජ්‍ය භාෂාව කළ මිනිහෙකි. ඔහු විසින් සිංහලය රාජ්‍ය භාෂාව කරනු ලැබීම දේශපාලන උප්පරවැට්ටියක් ලෙස පෙන්වා දෙන ලද නමුදු එමගින් සිංහල පමණක් කතා කළ මේ රටේ ජනතාව ප‍්‍රබෝධයටත් ආත්මාභිමානයටත් පත්වූහ. සියලූ දෙනා තමාට යටත් අය ලෙස සැලකූ ජෝන් කොතලාවල සිරිමතුන් ගැන මෙහිදී කතා නොකරමු. මන්ද යත් ඔහු වැඩවසම් යටත් විජිතවාදී ප‍්‍රභූ සංස්කෘතියේම දිගුවකි. සුද්දකු සේ හැසිරෙන, සුද්දකු සේ සිතන, සුද්දකු සේ කන බොන සිංහලයකු අත දිගහැර තවත් සුද්දකුට කම්මුලට පහරදීමෙන් රට දැය සමයෙහි ප‍්‍රබෝධයක් ඇති නොවන අතර එතැන් දී මතුවන්නේ දාමරිකකමක් පමණකි. ඒ වූ කලී ජෝන් කොතලාවල සිරිමතුන්ගේ සාම්පලයයි. ජෝන් කොතලාවල සිරිමතාගේ චර්යාවෙහි ඇතැම් තැන් නූතන දේශපාලඥයන්ගේ දාමරිකකම් හා සමානය. මේ රටේ පළමුවන අගමැති වීමට සියලූ සුදුසුකම් සපුරා තිබූ නමුදු එම තනතුර කවදාවත් නොලද ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක වඩා වටින දේශපාලනඥයකි. 1948 පටන්ම මේ රටේ දේශපාලන දාමරිකත්වය ටික ටික තිබුණ ද එය මුහුකුරා යෑම ඇරඹෙන්නේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවය. ඒ ආණ්ඩුවේ ඉහළ පෙළ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, ලෙස්ලි ගුණවර්ධන, එස්. ඒ. වික‍්‍රමසිංහ යනාදීන් මේ රටේ උගත් ප‍්‍රභූ පැලැන්තිය නියෝජනය කළ අය වුවද දේශපාලන වසලයෝ නොවූහ. ඔවුහු හැමවිටම ප‍්‍රගතිශීලී මිනිස්සු වූහ. එහෙත් ඒ ස්ථරයෙන් පහළට යනවිට සිටි දේශපාලනඥයන් අතර නොම්මර එකේ දේශපාලන දාමරිකයෝ ද සල්ලාලයෝද වූහ. ලංකාවේ මුල් වතාවට තරුණියන් සඳහා රෙස්ට්හවුස් කාමර තුළදී සම්මුඛ පරීක්ෂණ පවත්වා රැකියාදීම සිදුකෙරුණේ සමගි පෙරමුණු ආණ්ඩු කාලයේදීය. සම්මුඛ පරීක්ෂණ පවත්වන ලද්දේ ඇමැතිතුමාය. එම පරීක්ෂණයට මුහුණ දීම සඳහා තානායම් කාමරය තුළට ගිය තරුණ කන්‍යාවන් ආපසු එළියට ආවේ ගැහැනුන් ලෙසය. ඉන්පසු තාත්තලා නැති දරුවෝ බිහිවූහ. මෙය හරියටම වියට්නාම් යුද්ධය මෙනි. එම යුද්ධයේදී වියට්නාම් ආණ්ඩුවේ උදව්වට ඇමරිකන් යුද හමුදාව වියට්නාමයට ගියේය. යුද්ධය ඉවර වී ඔවුන් ආපසු ඇමරිකාවට යන විට ඔවුන්ගේම පෙනුම ඇති තාත්තලා නැති පුතුන් හා දූවරුන් දස දහස් ගණනක් වියට්නාමයේ ඉතිරි වූහ. 1977 දී බලයට පත් ජේ. ආර්. ගේ යූ.එන්.පී. ආණ්ඩුව සමගි පෙරමුණු ආණ්ඩුවේ දූෂණ සහ දාමරිකකම් ඩබල් ටි‍්‍රබල් කළ ආණ්ඩුවකි. එතැන් සිට අද දක්වාත් එම තත්ත්වය නොවෙනස්ව පවතී. හැම ආණ්ඩුවක්ම එන්නේ හොඳම ආණ්ඩුව ලෙසය. එහෙත් එය පරදින්නේ නරකම ආණ්ඩුව ලෙසය. ඒ පැරදුමට හේතුව ඒ ඒ ආණ්ඩු තුළ සිටින වසල පැලැන්තියයි. ඒ වසලයන් ගැන සහ වසලභාවයේ ස්වරූපය ගැන තවදුරටත් දැන ගැනීම සඳහා බුදුන්වහන්සේ විසින් දෙසා වදාළ වසල සූත‍්‍රය සහ පරාභව සූත‍්‍රය ඔබ විසින් කියවනු ලැබිය යුත්තේම ය.

advertistmentadvertistment
advertistmentadvertistment