වසූරිය බෝ කරගෙන රට දියුණු කර ගනිමු (කබීර් හෂීම් ආර්ථික න්‍යායට පරිකතාවකි)

229

දකුණු ආසියාවේ විශිෂ්ටතම ආර්ථික විද්‍යාඥයා ලංකාවෙන් බිහිවීමේ සුබාරංචිය අපි ඔබට දැනුම් දෙමු. මේ අර්ථ ශාස්ත‍්‍රඥයා ගේ නම කබීර් හෂීම් ය. ඔහුගේ ආර්ථික න්‍යායන් ගැන විස්තර කිරීමට කලින් අපගේ පළමු අපේක්ෂාව වන්නේ ඔහුට ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබා දීමේ ක‍්‍රමයක් ගැන කල්පනා කිරීම යි. දැන් ඔහුගේ න්‍යාය ගැන කතා කරමු. කොවිඞ් 19 හේතුවෙන් පිට රටවල ආර්ථිකය ඇද වැටුණේ යැයි කියන කතාව පිළිගැනීමට නොහැකි බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා ඇත. එයට ඔහු සතු පරමාදර්ශී උදාහරණය වන්නේ බංගලාදේශය යි.

බංග්ලාදේශයට ද කොවිඞ් තිබුණු නමුත් ශ‍්‍රී ලංකාවට ණයක් දීමට එරටට හැකි වූ බව ඔහු කියයි. ඔහුගේ අදහසට අනුව ශ‍්‍රී ලංකාවට ණයක් දීමට හැකි නම් බංගලාදේශයේ ආර්ථිකය ඇද වැටී නැත. මෙය ඉතා විශිෂ්ට විග‍්‍රහයකි. එසේම ඉතාම හොඳ ආර්ථික සාම්පලයකි. එයින් කියවෙන්නේ කොවිඞ් තිබෙන රටක් වුවත්, ලංකාවට ණයක් දෙන්නට ඒ රටට පුළුවන් නම් ඒ රට ආර්ථික වශයෙන් ඇද වැටී නැති බවය. මේ අනුව ශ‍්‍රී ලංකාවට ණය ලබා දී තම ආර්ථික තත්ත්වය ස්ථාවර බව ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාව ඕනෑම රටකට ලැබේ.

විවිධ රටවල ආර්ථිකය ශ්‍රේණිගත කිරීම සඳහා වරලත් සංවිධාන ගණනාවක් පිට රටවල තිබේ.FITCH RATING  සමාගම එවැන්නකි. කිසියම් රටක ආර්ථිකය යහපත් බව ඒ සමාගම විසින් නිර්දේශ කළොත් පිට රට වලින් පෙර කී රටට ඇති තරම් ණය ලබාගත හැක. එසේම එම රටේ ආයෝජන කිරීමට පිට රට සිටින ධනවත්තු පසුබට නොවෙති. මෙය පාඩමකට ගනිමින් ශ‍්‍රී ලංකාව තනිකරම රේටින්ග් සමාගමක් බවට පරිවර්තනය කිරීමේ අවකාශය දැන් අපට ලැබී ඇත. මෙය ඉතා සරලය. ලංකාවට ණය දෙන රටවල ආර්ථිකය ශක්තිමත් බව කියමින් අපට සහතික නිකුත් කළ හැකිය. මේ සියලූ කරුණු සලකා බැලීමෙන් පසු අපට ඇති එකම ප‍්‍රශ්නය මෙයයි.

සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ දවසට කබීර් හෂීම් මුදල් ඇමැති වුණොත් සජිත් පේ‍්‍රමදාසට කුමක් වන්නේද යන්නය. ජනාධිපති පේ‍්‍රමදාස සිය එකම පුත‍්‍රයා වූ සජිත් පේ‍්‍රමදාස දේශපාලනයට එනවාට කවදාවත් කැමති වුණේ නැත. එය සජිත් මෙන්ම ඔහුගේ පවුලේ අය ද ඉතා හොඳින් දන්නවා ඇත. සජිත් දේශපාලනයට ආවොත් විවිධ පිස්සු පොරවල් ඔහු වටකර ගන්නා බව දුර දක්නා ඥානයක් තිබූ ජනාධිපති පේ‍්‍රමදාස හිතන්නට ඇති. කොවිඞ් නිසා ලෝකයේ රටවල් සියල්ලම හාන්සි විය. මේ කිසිදු රටක ආර්ථික වර්ධනයක් නැත. පෙර වසරවල තිබූ ආර්ථික ඉලක්ක ඔවුන් සම්පූර්ණ කරගෙනද නැත.

කබීර් හෂීම් ගේ කතාවට අනුව කොවිඞ් වසංගතය නිසා ලංකාවට ලාභ ය. ඔහු කියන පරිදි 2019 දී රුපියල් කෝටි 1980 ආදායම් ලැබූ එල්. ඕ. එල්. සී. සමාගම 2020 දී හෙවත් කොවිඞ් වසරේදී කෝටි 5320 ක ආදායමක් ලැබීය. හේලීස් සමාගම 2019 කෝටි 289 ක ආදායමක් ලද අතර 2020 දී කෝටි 1405 ක ආදායමක් ලබා ඇත. කොවිඞ් අවුරුද්ද තුළ මෙසේ ආදායම තුන් හතර ගුණය කරගත් තවත් සමාගම් ලැයිස්තුවක් ඔහු කියයි. කෙසේ වුවද එල් ඕ එල් සී සමාගම 2020 දී කළ ආර්ථික ගනුදෙනුවල දිග පළල නොබෙල් ත්‍යාග අපේක්ෂිත කබීර් හෂීම් නොදනී. එල්. ඕ. එල්. සී. යනු මේ රටේ තිබෙන අංක එකේ සමාගමයි. කොවිඞ් නොව පරමාණු බෝම්බයක් පිපිරුවත් මේ සමාගම්වල ක‍්‍රියාකාරිත්වය නවතින්නේ නැත.

ඔවුන් සතුව බද්ධ ව්‍යාපාර වස්තු විශාල ප‍්‍රමාණයක් තිබේ. ඔවුහු මේ මොහොතේදීත් පිට රට මුදල් වෙළෙඳපොළේදී එම ව්‍යාපාර වස්තු විකුණති; වෙනත් ව්‍යාපාර මිලට ගනිති. අප දන්නා පරිදි රැයක් එළිවන විට ලංකාවේ ධනවත්ම සමාගම බවට පත්වීමට, මෙයට මාස කිහිපයකට පෙර එල්. ඕ. එල්. සී. සමාගමට හැකි විය. හේලීස් සමාගම ද එවැනිම විවිධාංගීකරණය වූ ආයතනයකි. මෙවැනි ආයතන කිහිපයක් විශාල ආදායම් ලැබීම මගින් රටේ ආර්ථිකය ප‍්‍රසාරණය වන්නේ නැත. එසේ සිදුවන බව කිසිවෙක් කල්පනා කරනවා නම් ඔහු පිස්සෙක් පමණක් නොව මෝඩයෙක් ද වෙයි.

කොවිඞ් නිසා ඇමරිකාව කොතරම් පහළට වැටී ඇත්ද යත් වෙනත් රටවල යුද කටයුතු වලට මැදිහත්වීම පවා තාවකාලිකව අත්හිටුවන්නට ඒ රටේ ජනාධිපති ජෝ බයිඩන්ට සිදුව ඇත. බංගලාදේශය විසින් ශ‍්‍රී ලංකාවට ණයක් ලබා දුන්නේ කොවිඞ් නිසා ඒ රට ලැබූ දියුණුව හේතුවෙන් නොව අන්‍යෝන්‍ය උපකාරයක් කිරීමේ පදනම මතය. මෙය ද්විපාර්ශ්වික සම්ප‍්‍රදායකි. ආසියාවේ කිසියම් රටක ගංවතුර උවදුරක් හටගත් විට ශ‍්‍රී ලංකාව ද ඒ රටට ඩොලර් ලක්ෂ දෙක තුනක ප‍්‍රදානයක් කරයි. 2004 සුනාමිය නිසා ලංකාවෙන් පළුවක් ගැලවී ඉන්දියානු සාගරයට ගසාගෙන ගියේය. ඒ වෙලාවේදී ලංකාවට වැලේ වැල් නැතිවිය. යුරෝපයේ රටවල් ලංකාවට සුනාමි ආධාර එවූහ.

එසේම ලංකාව ද සුනාමියෙන් හානි වූ වෙනත් රටවලට ආධාර කළේය. ලංකාව එසේ කළේ සුනාමිය නිසා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වූ නිසා නොව මානුෂීය පදනමක් මත ය. කබීර් හෂීම්ට මේ ටික තේරුම් කර දෙන්නේ කොහොමද? තමා සමග සිටින මේ යාවජීව අවදානමට සජිත් පේ‍්‍රමදාස තවදුරටත් ඉඩ දෙනවාද? අවසන් වශයෙන් මෙසේ කියමු. කොවිඞ් හැදුනහම රටවල් ස්ථාවර වෙනවා නම් වසූරිය හැදුනොත් ඉතාම උසස් ආර්ථික ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකිවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment