වහින ගොරවන මේ කාලයේ පරෙස්සමින් ඉන්න

624

ආණ්ඩුවෙන් පනවා ඇති ආදායම් බදු පනතට විරෝධය පළකරන වැඩ වර්ජනයට සහාය දෙමින් පසුගිය සතිය මුලදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සේවයෙන් ඉවත්වූහ. ඒ නිසා රටේ පාසල් සෑහෙන ගණනක අධ්‍යාපන කටයුතු කඩාකප්පල් විය. උසස්පෙළ පන්තියේ විභාගයට පෙනී සිට ප්‍රශ්න පත්තරවලට උත්තර ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උත්තර පත්තර බැලීමක්ද මේ දවස්වල සිදුවන්නේ නැත. එයට හේතුව සිසුන් විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමේ වැඩපිළිවෙළට සම්බන්ධ ඇදුරු මහැදුරු ආදී සූදුරු මහදුරු කට්ටිය බදු කේස් සහ පඩි කේස් නිසා වැඩ වර්ජනයක නිරත වීමය. එබැවින් පසුගියදා උසස් පෙළ ලියා අවසන් කළ සිසු දරුවන්ට කෙදිනක සරසවි යෑමට සිදුවේදැයි අපට කිව නොහැක.

ලංකාවේ අධ්‍යාපනය තනිකරම ජංජාලයකි. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මේ රටේ අධ්‍යාපන ඇමැතිවරයා වනතුරුම එවක සිටි පාසල් දරුවෝද, පාසල් දැරියෝද, ගුරුවරුද, මාපියෝද එංගලන්තයේ ජෝර්ජ් රජ්ජුරුවන්ගේ ගුණයද, එළිසබත් රැජිනගේ මහේශාඛ්‍යකමද සිහිපත් කරමින් ආශිර්වාද ගායනයෙහි නිරත වූහ. කන්නන්ගර අධ්‍යාපන ක්‍රමයත් සමග ඒ ගුණ ගායනය නැවතුනද බි්‍රතාන්‍යය විසින් මේ රට වෙනුවෙන්ම සාදන ලද යටත්විජිතවාදී අධ්‍යාපනය තවදුරටත් පැවතින. යටත්විජිතවාදය යනු වැඩවසම් ක්‍රමයේ ඉංග්‍රීසි දේශපාලනික ස්වරූපය වේ. මේ ස්වරූපය තුළදී ඉස්කෝල මහත්තයා, ඉස්කෝලේ නෝනා, ලොකු මහත්තයා (ප්‍රින්සිපල්) යනාදී පාඨශාලයීය පරිපාලන චරිතවලට ලොකු තැනක් හිමිවිය. කොළඹින් පිටිසර ඈත පාළාත්වල දරුවෝ ලොකු මහත්තයාගේ කුඹුරේ ගොයම් කපන දවසට පාසල් නොගොස් ගොයම් කැපීමේ නිරත වූහ. එසේම වතු වැඩ පීරියඩ් එකේදී ඉස්කෝලේ හාමිනේගේ ගෙවත්තට ගොස් මඤ්ඤොක්කා සිටුවූහ. මේ කියන කාලයේදී ළමයින් ඉස්කෝලයට දැමීමට පගා දීමක් සිදුවුණේ නැත. හැබැයි ඉස්කෝලයට භාරගත් ළමයාගේ පවුලේ උදවිය ඉස්කෝල මහත්තයා ඉස්කෝලේ නෝනා මහ ගුරා ආදීන්ගේ වහල් වැඩ කරන පිරිසක් බවට පත්වූහ. මෙහිදී ගම්මුලාදෑනියා නමැති චරිතය හැසිරුනේ දිසාපති මෙනි. පොලිස්කාරයකු ගේ ඉස්සරහින් යන විට ගම්මුලාදෑනියාට චූ පිටවන තරම් ගෞරවයක් දැනුනු නමුදු සාමාන්‍ය ගැමියන් ඉදිරියේදී ගම්මුලාදෑනියා හැසිරුණේ ජෝර්ජ් රජ්ජුරුවන්ගේ බාල මල්ලිගේ නැන්දගේ පුතා මෙනි.

1970 දී මේ රටේ බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සිය වාමාංශික දේශපාලන පාර්ශ්වකරුවන් සමග එක්ව රටේ අධ්‍යාපනය වෙනස් කළේය. මෙය නව අධ්‍යාපන ක්‍රමය ලෙස හඳුන්වන ලදී. පොතේ අධ්‍යාපනයට මෙන්ම දෑතේ කර්මාන්තයටද මෙකී නව අධ්‍යාපන ක්‍රමය මගින් උසස් පිටිවහලක් ලබාදීම අරමුණ විය. 1977 දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව කඩාවැටීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බලයට පත්වූ අතර නව අධ්‍යාපන ක්‍රමය අවලංගු කෙරිණ. එයින් පසු යූ. එන්. පී. ආණ්ඩුව කෙළින්ම අවුරුදු 17 ක් ලංකාව පාලනය කළේය. 1994 දී බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග, 1977 ජේ. ආර්. හඳුන්වාදුන් අධ්‍යාපන ක්‍රමය සම්පූර්නයෙන්ම වෙනස් කළාය. ආණ්ඩු මාරු වන විට දේශපාලන ප්‍රතිපත්ති මාරුවන නමුදු අධ්‍යාපන ක්‍රමය එහෙම පිටින්ම වෙනස් කරනු නොලැබේ. අද වන විට යටත්විජිතවාදී අධ්‍යාපනය හෝ වැඩවසම් අධ්‍යාපනයක් මේ රටේ නැත. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම මුදල් සහ බලය මත පදනම් වූ, පගාව සහ ලිංගික අල්ලස් පරිහරණය කෙරෙන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇතිවිය. මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ජනාධිපති චන්ද්‍රිකාට විශාල අමාරුවක් තිබිණ. අධ්‍යාපනය ලෝකයට නිරාවරණය වූ ප්‍රගතිශීලී අධ්‍යාපන ක්‍රමයක් විය යුතු බව ඕ නිතරම කීවාය. එහෙත් මේ රටේ අධ්‍යාපනය කිසිසේත්ම වෙනස් කිරීමට ඇයට නොහැකි විය. ඇගේ කාලයේදී අධ්‍යාපනයට අදාළව සිදුවූ එකම වෙනස් දෙය වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයට ටයිල් ඇල්ලීමය. නිකන් ඉන්න අපිට අහල ගියත් මදැයි කීවාක් මෙන් මෙකී ටයිල් ඇල්ලීම සතුටින් විඳ දරා ගැනීමට අපට පුළුවන.

වැඩ වර්ජනය යනු ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ තිබෙන අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියකි. එහෙත් සෞඛ්‍ය සේවය ප්‍රවාහන සේවය විදුලි බලය සහ අධ්‍යාපනය යන අංශ වැඩ වර්ජන කරනවාට මේ පුවත්පත තරයේම විරුද්ධය. ඒ අනුව ආදායම් බදු ප්‍රතිපත්තිය හෝ වෙනත් ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් අධ්‍යාපන සේවකයන් වැඩ වරනවාට අපි තරයේම විරුද්ධ වෙමු. අධ්‍යාපන සේවකයන් වැඩ වරනවා යනුවෙන් හැඳින්වෙන්නේ මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබාගෙන ශිෂ්‍ය පරම්පරාවේ කාලය විනාශ කිරීමය. එය හෙණ ගහන අපරාධයකි. කාලය යනු ගතවන මිස ඉපයීමට නොහැකි සංසිද්ධියකි. මේ සංසිද්ධිය තුළ සිට ස්ටාලින් චුට්ටා ද ඉස්සරහින් තබාගෙන බදු ප්‍රතිපත්තිය වෙනුවෙන් හෝ වෙනත් කවර හෝ මළ ඉලව්වක් වෙනුවෙන් වැඩ වර්ජන කිරීම ඉතාම කුහක සහ නින්දිත වැඩකි. මේවා වහින ගොරවන දවස්ය. ළමයකුගේ අනාගතයට හිංසාවක් වන දෙයක් කිරීම බලවත් පාපයකි. වැඩ වර්ජනය කිරීමෙන් අධ්‍යාපන සේවකයන් කරන අපරාධය හිසේ අකුණු සන්නායකයක් බැඳ පපුවේ ට්‍රිප් ස්විච් එකක් හයිකර ගත්තත් පලදීම ෂුවර්ය.

අ.පො.ස. උසස්පෙළ විභාගයේ උත්තර පත්තර බලා ගැනීමට නොහැකි තත්ත්වයක් විශ්වවිද්‍යාලවල ඇදුරු මහැදුරු සූදුරු මහදුරු කට්ටිය විසින් නිර්මාණය කිරීම ඉතාම නින්දිතය. මේ රටේ අධ්‍යාපන ඇමැති වන සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා මෙසේ කීවේය. “පාසලක් වැසුණු විට අලුතින් හිරගෙයක් ඇරෙන බවට ඇති කතාව දැන් වියැකී ගොස් තිබේ. විවිධ වැඩ වර්ජන නිසා ලක්ෂ

41 ක් වූ පාසල් දරුවෝ විවිධ දුක් විඳිති. එම දරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කවුරුවත් පෙනී සිටින්නේ නැත” මේ සම්බන්ධයෙන් අපගේ උගත් මිත්‍රයා වූ නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්තට කීමට අපට කාරණයක් තිබේ. පාසල් වැසීමෙන් සිරගෙවල් ඇරෙන බවට ඇති කතාව තවදුරටත් වලංගු නොවන්නේ මුළු ලෝකයම හිරගෙයක් වී ඇති නිසාය. මේ හිර ගෙවල්වල මව් පිය දූ දරු සියලුම දෙනා සිරගතව සිටිති. අම්මාගේ අරමුණ තම පුතා හෝ දුව විභාග පාස් කරවා විශ්වවිද්‍යාලයෙන් එතෙර කිරීමය. ඒ වෙනුවෙන් ඇය ශිෂ්‍යත්වය, ඕලෙවල්, ඒලෙවල් යන විභාග තුනටම දරුවන් සේම ටියුෂන් යයි. දරුවකු විභාගයක් අසමත් වූ විට දරුවාද ඒ විභාගය අසමත් වෙලාය. අද මධ්‍යම පාන්තික සියලුම පියවරුන්ගේ ප්‍රමුඛතාව වන්නේ දූදරුවන්ගේ ටියුෂන් ෆීස් ගෙවීමය. මේ කතාව අදට මෙතැනින් නවතී. එහෙත් මේ දේශපාලන කතාව සහ සමාජ ක්‍රමය තිබෙන තාක් කල් මේ කතාවේ සන්දර්භය වෙනස් වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment