වළක්වා ගත නොහැකි බාධා නිසා මාර්තු 9 ඡන්දය බෑ

288

ඡන්දයට මුදල් දීම අසීරු බව මුදල් ලේකම් කියනවා
මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
ඡන්ද පත්‍රිකා දීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය රු. මිලියන 410.6 ක් ඉල්ලනවා
පොලිසිය තුන් ගුණයක් මුදල් ඉල්ලනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි මැතිවරණ නීතිය අනුව පවත්වන බවට තම කොමිෂන් සභාව අවස්ථා දෙකකදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා ලබාදුන්නත් වළක්වාගත නොහැකි පරිබාහිර බාධා කිහිපයක් නිසා ලබන 9 වැනිදා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත වන්නේ යැයි පෙන්වා දෙමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (20දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කළේය.

එකී මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාදීමට අසීරු බවට මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ වනවිටත් තම කොමිෂන් සභාවට දැනුම්දී ඇති බවත් රුපියල් මිලියන 410.6 ක මුදලක් ලබාදෙනතුරු ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන මුදා හැරීමේ හැකියාවක් නොමැති බවට රජයේ මුද්‍රණාලයාධිපතිවරිය දැනුම්දී ඇති බවත් එම මෝසම මගින් පෙන්වාදී තිබේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ලබාදිය යුතු ආරක්‍ෂාව රජයේ මුද්‍රණාලයට ලබාදීමට පොලිස්පතිවරයා අසමත්වී ඇතත් මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවන පොලිස් නිලධාරීන් වෙනුවෙන් තුන් ගුණයක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලා ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව සිය මෝසම් පත්‍රය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

මැතිවරණ සැලසුම් හා මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය වාහන, ඉන්ධන කෝටා ඉහළ දමන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා ඇතත් රාජ්‍ය ආයතන එකී ඉල්ලීම් මෙතෙක් ඉටුකර නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රමුඛ සාමාජිකයන් සිය මෝසම් පත්‍රය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා දීමට මහාභාණ්ඩාගාර ලේකම්වරයා පියවර නොගැනීම ඡන්ද පත්‍රිකා ලබාදීමට රජයේ මුද්‍රණාලයාධිපතිවරිය අසමත්වීම නිසා එකී මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු අනෙකුත් සහයන් ලැබෙනතුරු අධිකරණයට පොරොන්දුවූ පරිදි ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව සිය කොමිෂන් සභාවට නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

එකී කරුණු නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වන ජේ. ත්‍යාගරාජා මහතා මැතිවරණ කටයුතු වලින් ඉවත්වී ඇති බවත් මැතිවරණ නීතිය අනුව සැලසුම් කර ඇති පරිදිම මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ හා සෙසු සාමාජිකයන් තිදෙනාගේ එකම අභිප්‍රාය බවත් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ. මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා රජයේ මුද්‍රණාලයාධිපතිවරිය, පොලිස්පතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා වෙත මැතිවරණ කොමිෂන් සභාව යවනු ලැබූ ලිපිවල හා එකී බලධාරීන්ගෙන් ලැබුණු ලිපිවල සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥ යොහාන් පීරිස් මහතා මගින් එම මෝසම් පත්‍රය ගොනුකර ඇත.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment