වළගම්බා රජුගේ කඩුව නිධානෙන් අරගෙන!

1220

ලක්‍ෂ 40කට විකුණන්න හදලා
ගොඩගත්තේ මහියංගණයේ නිධානයකින්ලු
සැකකරුවෝ දෙදෙනා සමනලවැව පොලිසියට

නිධානයකින් ලබාගත් වළගම්බා රජුට අයත් බවට සැකකරන කඩුවක් රුපියල් හතළිස් ලක්‍ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනකු එම කඩුව ද සමග වලාන දූෂන මර්දන බළකාය මගින් පෙරේදා (21 වැනිදා) සමනලවැව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මහියංගණය පුරාවිද්‍යා රක්‍ෂිතයේ සිදුකළ කැණීමකින් ලබාගත් නිධානයක තිබී මෙම කඩුව ලබාගත් බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර තිබේ.

මෙම නිධානයේ තිබී තවත් වටිනා පුරාවස්තු රැසක් හමුවී ඇති අතර ඒවා නිධානය හෑරීමට සම්බන්ධවූ අනෙක් පුද්ගලයන් විසින් බෙදාගෙන ඇති බව හෙළිවී තිබේ.

මීට සති තුනකට පමණ උඩ දී මහියංගණය ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්‍ෂිතයක දී සිදුකළ කැණීමකින් මෙම නිධානය හමුවූ බව සැකකරුවන් පාපොච්චාරණය කර ඇත.

ජනප්‍රවාදයේ සඳහන්ව ඇත්තේ මෙම නිධානයේ වළගම්බා රජුගේ අසිපත් ආභරණ ඇතුළු තවත් වටිනා පුරාවස්තු රැසක් තිබූ බවයි. එහෙත් අත්අඩංගුවට ගත් මෙම කඩුව වළගම්බා රජුට අයත් එකක් බවට පුරවිද්‍යා නිලධාරීන් මෙතෙක් තහවුරු කර නැත.

නිධානයකින් ලබාගත් වටිනා දේපොළ අලෙවි කිරීමට යන බවට මුලින්ම තොරතුරක් ලැබී තිබුණේ වලාන දූෂන මර්දන බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා වෙතය.

එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත සැරයන් (428) ජයලාල් මහතා ව්‍යාපාරිකයකු ලෙස වෙස් වලාගෙන මෙම පුරාවස්තු මිලදී ගැනීමට යොදවා ඇත.

සති දෙකක පමණ කාලයක් තිස්සේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී තිබූ අතර වළගම්බා රජුගේ අසිපත රුපියල් හැට ලක්‍ෂයකට විකිණීමට බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඉදිරිපත්ව ඇත.

අදාළ මුදල රුපියල් හතළිස් ලක්‍ෂයක් දක්වා අඩුකරගෙන එය මිල දී ගැනීමට යන මුවාවෙන් පොලිස් කණ්ඩායමක් සමනලවැව ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනා අදාළ කඩුව ද රැගෙන පැමිණ ඇති අතර ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් දෙදෙනා සමනලවැව පොලිසියට භාර දී ඇත.

මෙම කඩුව අඩි තුනක් පමණ දිගින් යුක්ත අතර එය පස්ලෝහයෙන් සකස්කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී තිබේ.

වලාන දූෂණ මර්දන බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සැරයන් (428) ජයලාල් , කොස්තාපල්වරුන් වන (94009), ශ්‍රියන්ත (91287) සංජීව (77090) බාලසූරිය (39850) අශාන් (80501) තිසර ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment