වළෙන් ගොඩ එන්න හැදුවත් තෙලෙන් බැදෙන රටක්…

98

රටේ ඉන්ධන ප්‍රශ්නයට විවිධ පැලැස්තර දමන ආණ්ඩුව පසුගියදා රටේ තෙල් ප්‍රශ්නයට “ටෝකන්” මගින් දුන් උත්තරය සාර්ථක නොවිණි. ඉන්පසු 0-9 දක්වා වාහන අංක තහඩුවේ ඇති අන්තිම අංකය ඔස්සේ කාණ්ඩ කිහිපයක් යටතේ සතියේ දින වෙන්කර ඉන්ධන ලබාගැනීමට හඳුන්වාදුන්නත් එම ක්‍රමයට සැපයීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන පිරවුම්හල් සතුව නොතිබිණි. පසුව රජයේ මීළඟ පියවර වූයේ මගින් QR Code (ජාතික ඉන්ධන අවසර පත්‍රය) ක්‍රමය හඳුන්වාදීමයි. එය කොතෙක්දුරට සාර්ථකවේද යන්න මුළුමහත් ජනතාවටම අද ප්‍රශ්නයකි. එහෙත් මෙම ඉන්ධන අර්බුදය අවසන් වන දිනයක් ගැන කිසිවෙක් සඳහන් කරන්නේ නැත.

ඉන්ධන යනු රටකට අත්‍යවශ්‍යම දෙයකි. පසුගිය කාලය තුළ අධික ලෙස ඉහළ ගිය ඉන්ධන මිලේ අඩුවීමක්ද අද අපට පෙනෙන්නට නැත. තෙල් පෝලිම්වල දවසින් දවස බිල්ලට ගන්නා අපේ රටේ අහිංසක මිනිස් ජීවිත ගැන රටේ බලධාරීන්ට වගකීමක්, උවමනාවක්ද නැත. දින සති ගණන් පෝළිම් වල දුක්විඳ තියෙන තෙල් ටිකත් අධික මිලක් ගෙවා ලබාගැනීමට අපේ රටේ ජනතාවට අද සිදුවී ඇත. පවතින ඉන්ධන මිල හමුවේ ප්‍රවාහනය, ආහාර ද්‍රව්‍ය ඇතුළු සියළුම බඩු භාණ්ඩ මිල අහස උසටම ඉහළ ගොස් ඇත. ඒ හරහා දුක් විඳින ජනතාව අනන්ත අප්‍රමාණය. එක් පැත්තකින් අද රටේ තෙල් නැත. මේ හේතුවෙන් විවිධ ක්‍රම ඔස්සේ දැනට තිබෙන තොග හැකිතාක් උපරිම කාල සීමාවක් භාවිතා කිරීමට රජය අදහස් කර සිටින බව අපට ලැබුණු ආරංචි මාර්ග මගින් තහවුරුවී ඇත.

තෙල් මිලේ ඉහළ යෑමට හේතු දක්වන දේශපාලකයන් පවසන්නේ තෙල් ආනයනයේදී අධික මිලක් දැරීමට සිදුවීම හා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ යෑමයි. පසුගිය කාලය තුළ මේ නිසා ඔවුන් හිතෙන හිතෙන ආකාරයට තෙල් මිල ඉහළ නැංවූයේ හිත්පිත් නැතිවය. අද රටේ පවතින තත්ත්වය යටතේ වෙනදා අපට තෙල් ලබාදුන් රටවල් දක්වන්නේ අයහපත් ප්‍රතිචාරයි. අපට ණයට තෙල් දෙන අය දැන් නැත. අත්පිට මුදලටවත් දීමට ඔවුන් දක්වන්නේ මැලිකමකි.

අද අධික මිලකට තෙල් විකුණුවත් නැවත තෙල් ගෙන ඒමට තෙල් සංස්ථාව සතුව මුදල් නැත. රටේ ඉන්ධන ප්‍රශ්නය මෙතරම්ම ජනතාවට බලපෑවේ ඒ නිසාය. හැමදාම පාඩු ලබන මේ තෙල් සංස්ථාව කියන්නේ ඉන්ධන ලීටරයකින් සතයක් හෝ පාඩු ලබන බවයි. රජයක් කළයුත්තේ ඉන්ධනවලින් තෙල් සංස්ථාව පාඩු ලබනවාද, සිදුවන්නේ කුමක්ද යන්න සොයා බැලීම මිස, ජනතාවට තවත් බේගල් ඇදබෑම නොවේ. රටේ බලධාරීන් හැමදාම මුළාකළේ ජනතාවමය. රටේ ඩොලර් සංචිත අනවශ්‍ය දේවල්වලට වැය කරනවා මිස අවශ්‍ය දෙයට වැය කරන ක්‍රමවේදයක් මෙතෙක් සිදුවී නැති බව පෙනෙන්නට ඇත. කොයි මොහොතක හෝ තෙල් නැවක් එන තුරු බලා සිටින්නට පුරුදු වූ අපේ මිනිස්සු “කීයට හරි කමක් නෑ අපට තෙල් තියෙනවානම්” කියන තත්ත්වයටම අන්ත අසරණ වී ඇත. අද තෙල් මිල අධිකය. එය තවත් රටේ ජනතාවට දැරිය නොහැක. ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිලට සාපේක්‍ෂව අප රටේ තෙල් මිල අඩුවිය යුතුය. ඒ ලාභය ජනතාවට දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කළයුතු වේ. නමුත් දැන් සිදුවන්නේ එවැන්නක්ද? අද අපි කතාකරන්නේ මේ අධික තෙල් මිල ගැනය.

● රුපියල් 200 ක් අඩුවෙන් ඉන්ධන

ඉන්ධන ප්‍රශ්නයෙන් බැටකෑ අපේ රටේ ජනතාවට පසුගියදා අසන්නට ලැබුණේ ඉමිහිරි පුවතකි. ඒ සෑම ඉන්ධනයක්ම දැනට පවතින මිලට වඩා රුපියල් 200 ක් අඩුවෙන් ලබාදිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා කෝප් කමිටුවේදී හෙළිකිරීමයි. ඔහු කියන්නේ ලංකාවට ඉන්ධන ගේන ගණනත් එක්ක රුපියල් 200 ක් පමණ අඩුවෙන් 95 පෙට්‍රල් ලීරයකුත්, අනෙකුත් ඉන්ධනද රුපියල් 200 ක් අඩුවෙන් දෙන්න පුළුවන් යන්නය. එසේනම් රජය තවමත් එම සහනය අපේ ජනතාවට නොදෙන්නේ ඇයි? ඇත්තෙන්ම එය ආන්දෝලනාත්මක ප්‍රකාශයකි.

● ජනතාවට ලැබුණ ඉන්ධන සහනය

වළෙන් ගොඩ එන්න හැදුවත් තෙලෙන් බැදෙන රටක්…

පසුගියදා (ජුලි 17දා) රාත්‍රී 10.00 සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමක් සිදුකළේය. ඒ ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 20 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10 කින්ද, ලංකා ඔටෝ ඩීසල් රුපියල් 20 කින්ද, සුපිරි ඩීසල් රුපියල් 10 කින්ද මිල පහත හෙළීමක් සිදුකළේය. මෙතරම් අඩු අගයකින් මිල පහත හෙළීම ඉතා අසාධාරණය. මෙය සමස්ත රටේ ජනතාවම ගොනාට ඇන්දවීමකි. මෙයට කදිම නිදසුනක් සමාජ මාධ්‍ය ජාලයේ ඉකුත් දා පළවිණි. ඒ බූරුවකු හා වෙළෙන්දකු වටා ගෙතුන කතාවකි.

● බූරුවා සහ වෙළෙන්දාගේ කතාව

එක් වෙළෙන්දෙක් තම බූරුවා පිට පටවාගත් කිලෝ 75 ක බරක් රැගෙන යයි. පසුව ඔහු බූරුවාගේ පිටට කිලෝ 100 ක බරක් පටවන්නට ප්‍රයත්න දරයි. එවිට බූරුවා තරමක් අදිමදි කරන විට බූරුවාගේ පිටට වෙළෙන්දා තවත් කිලෝ 125 ක් පැටවීය. එවිට ඒ බර දරාගත නොහැකි වූ බූරුවා ගමන් කිරීමට තබා සෙලවීමටවත් නොහැකිව එක තැන නතර විය. කපටි වෙළෙන්දා පසුව කළේ බූරුවා මත පැටවූ බරින් කිලෝ 5 ක් අඩුකිරීමය. එවිට බූරුවා නැවතත් සිය ගමන ආරම්භ කරන්නට විය.

මේ අද අපේ රටේ ඛේදවාචකයේ පිළිබිඹුවකි. වෙළෙන්දා බූරුවා කතන්දරය මෙයට කදිම නිදසුනක් නොවේද? අපේ ජනතාව ජීවන බරින් මිරිකෙමින් සිටිත්දී දේශපාලනඥයන් ජනතාවගේ හිස මත තව තවත් බර පටවයි. ඉන්ධන මිල වැඩිකරන විට ඉහළ මිලකිනුත් හා අඩුකරන විට රුපියල් 10 ක් 20 කින් වැනි අඩු ගණනකින් අඩු කරන්නේ ඒ නිසාය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පසුගියදා එළියට දැම්මේ මේ ඇත්තය. ඔහු ස්වාධීන කොමිසමක සභාපතිවරයෙකි. දත්ත පරිශීලනය කර ඇත්ත කියූ ඔහු තවදුරටත් කියන්නේ තෙල් මිල දැනට පවතින මිලට වඩා රුපියල් 200 ක් අඩුවෙන් දිය හැකි බවයි. මෙහි ඇත්ත කතාව කුමක්ද යන්න පිළිබඳව අප ඔහුගෙන් විමසූ විට වර්තමාන ඉන්ධන අර්බුදයේ සත්‍ය කතාව මෙසේ පැවැසීය.

● ඇමැතිත් නොදන්න තෙල් මිලේ ඇත්ත කතාව

“ලංකාවට ගේන ඉන්ධන වර්ගයන් රුපියල් 150 සිට 200 දක්වා මිලකට තමයි ගෙන්වන්නේ. අද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 යි. නමුත් ලංකාව ආනයනය කරන ගණනත් එක්ක රුපියල් 200 ක් විතර අඩුවෙන් 95 පෙට්‍රල් ලීටරයක් ලබාදෙන්න පුළුවන්. ඒ සියලු බදු ඇතුළත්ව. අනෙකුත් ඉන්ධනත් රුපියල් 200 කින් අඩුකර දෙන්න පුළුවන්. ඇත්තටම වැඩිමිලට තෙල් විකිණීමෙන් රජයට වාසියක් තියෙනවා. නමුත් තෙල් මිලේ වාසිය ජනතාවට රජය විසින් දිය යුතුයි. එයින් රජයට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වාසිය කෙළින්ම යන්නේ සංස්ථාවට. නමුත් අවසානයේ රටින් තෙල් ගේන්න සංස්ථාවේ මුදල් නෑ. ඇමැතිවරයා හදලා රටට පෙන්නපු ඉන්ධන මිලට තෙල් ගත්තම අපි රුපියල් 200 ක් වැඩිපුර ගෙවනවා. මේ මිල හදලා තියෙන්නේ ඉන්ධන ගත්ත මිලට නෙමෙයි. ඉන්ධන බැරලයක් තෙල් සංස්ථාව ගත්තේ ඇ.ඩො.110 ට. ඒ ගන්න ගාණට බදු එකතු කරලා තෙල් මිල හදන්නේ නැතිව සිංගප්පූරුව තෙල් බැරලයක් ලබාදෙනවා යැයි ප්‍රකාශ කළ මිලට මිල ගණනය කිරීමෙන් තමයි ඇමැතිවරයා නව තෙල් මිල හදලා තියෙන්නේ. ඒ කියන්නේ බැරලයක් ඩොලර් 170 කට මිල ගණනය කරලා. නමුත් තෙල් බැරලයක් අපි ගත්තේ ඇ.ඩො.

110 ක මිලකට. එහෙම අරන් ඇ.ඩො.170 ට ගණනය කිරීම හරහා ජනතාවට සිදුවන්නේ විශාල පාඩුවක්. අපි අහන්නේ එහෙම කරන්නේ ඇයි කියලා. ඔවුන් මිල ගණන් හදන්නේ තෙල් මිලදී ගත්ත ගාණට නෙමෙයි සිංගප්පූරු ප්‍රකාශන මිලට. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.” ඔහු එසේ ප්‍රකාශ කළේය.

ඉකුත් ජුලි 17 දා රාත්‍රියේ අඩුවූ ඉන්ධන මිල ගැනද අපි ඔහුගෙන් විමසූ විට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

● රුපියල් 10 ක් කියන්නෙ ඩොලර් සත 3 ක් වගේ

වළෙන් ගොඩ එන්න හැදුවත් තෙලෙන් බැදෙන රටක්…

“රුපියල් 10 කින් 20 කින් තෙල් මිල අඩුකිරීමක් කියන්නේ විහිළුවක්. අපේ රටේ මේ සම්බන්ධව භාරව ඉන්න ඇමැතිවරු අඥානයෝ. මේ සබ්ජෙක්ට් එක ගැන ඇත්තටම දන්නේ නෑ. ඔවුන් දන්නව කියල හිතන් හිටියට ඒ ගැන අවබෝධයක් නෑ. දන්නේ දේශපාලනය විතරයි. ඒකත් හරියට දන්නේ නෑ. ඔවුන් හිතන් ඉන්නේ අපේ රටේ පාරිභෝගිකයන්ට මොළේ නෑ කියලා. මෝඩයෝ කියලා. ඔහේ අඩුකරන්නන්වාලේ අඩුකරනවා. මේවා විහිළු. මගේ පදනම තමයි මේ අඩුකිරීම අඩුම තරමේ රුපියල් 100-120 කින්වත් අඩුවිය යුතුයි. මොකද රුපියල් 10 අඩුකරා කියන්නේ ගණනය කළොත් ඩොලර් සත 3 ක් වගේ මුදලක්. 100-120 ක් අඩුකළොත් මේ රජයට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.”

අප ලබාගත් දත්ත වාර්තා අනුව තෙල් සංස්ථාව තෙල් බැරලයකින් ඩොලර් 60 ක ලාභයක් අත්කර ගනී. එහෙත් මේ ලාභය ආණ්ඩුවට නොයන බවද වාර්තාවී ඇත. එසේ තිබියදීත් තෙල් සංස්ථාවට හැමදාමත් පාඩුය. මේ ලබන ලාභ ආණ්ඩුවට ලැබෙන්නේත් නැතිනම්, මහ භාණ්ඩාගාරයට දෙන්නේත් නැතිනම් මේවා පිල්ලි යන්නේ කොහේටද? රටේ ජනතාව මේ ගෙවන දුෂ්කර අවස්ථාවේදී අධික ලාභ ලබමින් ආසාධාරණ මිල ගණන්වලට තෙල් විකුණන එක වැරදි බව කිවයුතුය. මෙය තෙල් මාෆියාවකි.

ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඉහළ යෑම නිසා මෙම වැඩිවීම සිදුවන බව ඛනිජ තෙල් ඇමැතිවරයා එදා කියද්දී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ තෙල් ලීටරයක් රුපියල් 250 කට දීමට පුළුවන් බවයි. එනම් රුපියල් 200 ක් අඩුවෙන් දීමට හැකි බවයි. පුදුමයකි. ඒත් සිදුවූයේ කුමක්ද? තෙල් මිල සංශෝධනය ගැන පසෙකලා ඔහුව ප්‍රශ්න කිරීමයි. නමුත් මුලින්ම සිදුවිය යුත්තේ වංචාවක්, හොරකමක්, අක්‍රමිකතාවක් සිදුවී ඇත්දැයි පරීක්‍ෂා කර බැලීමයි. පසුගියදා පැවැත්වූ කෝප් කමිටුවේදී ඒ සම්බන්ධ බලධාරීන් හා නිලධාරීන් සොයා බැලුවේ තෙල් ප්‍රශ්නය නොව ඔවුන්ට මෙතනට එන්න සුදුසුකම් මොනවාද යන්නයි. ඔහු ඉදිරිපත් කළ ප්‍රශ්නයට එහිදී පිළිතුරක් නොලැබුණි. ඛනිජ තෙල් සංස්ථාවේ වූ හොරකම, වංචාව ගැන කමිටුවට හෙළිකරද්දී ඔහුට සිදුවූයේ වෙනත් ප්‍රශ්නවලට මැදිවීමටය. එදා සිට සිදුවූයේ රටේ සිදුවූ නාස්තිය, වංචාව ගැන හෙළිකරද්දී රජය විසින් මුනිවත රැකීමයි. මේ පිළිබඳ රටේ බලධාරීන් ලැජ්ජාවිය යුතුය.

පසුගියදා කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් අපට අසන්නට ලැබුනේ තෙල් ගැලුම්, බූලි ගණන් පටවාගෙන යන අවස්ථාවේ එහි ආරක්‍ෂක නිලධාරීන්ට අතටම අසුවූ පුවතකි. අද තෙල් ටිකක් නොමැතිව දවස් සති ගණන් දුක්විදින ජනතාව අසරණය. රටේ බලධාරීන් මුලින්ම කළ යුත්තේ මේ විනාශකාරී ක්‍රියාවන් නවතා ජනතාවට සහන මිලට ඉන්ධන ටික ලබාදීම නොවේද?

අධික ඉන්ධන මිල රටේ ජනතාවට තවත් දැරිය නොහැක. දැන්වත් රජය විසින් ජනතාවට දැනෙන මුදලකින් තෙල් මිලේ අඩුකිරීමක් කළ යුතුය. ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමයට :QR Code) අනුව ඉන්ධන ලබාගැනීමට නම් අඛණ්ඩව ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම ලැබිය යුතුය. එවිට එම ක්‍රමය සාර්ථක වනු ඇතැයි අපි සිතමු. අද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ බැස ඇත. බොරතෙල් ගෙන්වා පිරිපහදුකර රටේ ඉන්ධන ප්‍රශ්නයට විසදුම් සෙවීමට ආණ්ඩුව තවමත් ක්‍රියාකර නැති බව පෙනෙන්නට ඇත. සැබැවින්ම ඔවුන් එසේ ක්‍රියාකිරීමට ඉදිරිපත් නොවන්නේ බොරතෙල් ගෙන්වීමට වඩා පිරිපහදුකළ ඉන්ධන ගෙන්වීමෙන් ඔවුන්ගේ මඩිය තරවෙන නිසා විය හැකිය. සැබැවින්ම තෙල් මිලේ සහනය ජනතාවට දෙන්න බැරි ආණ්ඩුවක් කුමකටද යන්න රටේ බහුතරයකටම අද හැඟෙන ප්‍රශ්නයකි. එහි කිසිම වැරැද්දක් නොමැත. අද රටේම ජනතාවගේ බලාපොරොත්තුව සහන මිලට ඉන්ධන ටික ලබාගැනීමයි. ඒ ගැන සොයා බලා ඉන්ධන මිලේ සහනය රටේ ජනතාවට ලබාදීම අලුත් ආණ්ඩුවේ වගකීම හා කාර්යභාරය වන්නේය.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment