ව්‍යවස්ථාවට පිටින් වැඩ නෑ.. අරගල  පිළිගන්නවා කැරැල්ලට ඉඩ නැහැ!

261

වැඩ බලන ජනපති රනිල් ජාතිය අමතමින් කියයි

● ජනපති කොඩිය අහෝසියි
● ජනපති හැඳින්වීමේදී අතිගරු කෑල්ල තහනම්
● 19 සම්පූර්ණයෙන් බලාත්මක කරනවා
● ජනපති තෝරන ඡන්දයේදී මන්ත්‍රීන්ට බලපෑම් කරන්න සමහරු උත්සාහ කරනවා
● ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ

මුළු රටටම නව ගමනක් හැමෝම මල් වට්ටියට අතගහන්න

සාමකාමී අරගල කිරීමේ අයිතිය සියයට සියයක් පිළිගන්නා අතරේදී රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නා බව වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය. එහිදී වැඩ බලන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වුණා. ව්‍යවස්ථාවට අනුකූලව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙලා නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට පියවර ගන්නවා. මේ කෙටි කාලය තුළ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව කටයුතු කිරීමේ වගකීම මට පැවරිලා තිබෙනවා. මේ කෙටි කාලසීමාව තුළ මම හදිසි පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමයේ වෙනසක් අපේක්‍ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි.

ඒ නිසා 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙළ මම ආරම්භ කළා. ලබන සතියේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම මේ කෙටි කාලය තුළ සකස් කරනවා. ඒ වගේම රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමී අරගල කිරීමේ අයිතිය මම සියයට සියයක් පිළිගන්නවා. නමුත් සමහරු කඩාකප්පල් ක්‍රියාකරන්න උත්සාහ කරනවා. තවත් කණ්ඩායම් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න උත්සාහ කිරීමට සූදානම් වන බවට වාර්තා වී තිබෙනවා.

මන්ත්‍රීවරුන්ට ස්වාධීනව තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ඔවුන්ට පූර්ණ ආරක්‍ෂාව සපයනවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට අපි කිසි විටෙක ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් ෆැසිස්ට්වාදී ක්‍රම ඔස්සේ රට ගිනි තැබීමට වෙර දරන කණ්ඩායම් ඉන්නවා. පාර්ලිමේන්තුව අසලදී ආරක්‍ෂක හමුදාවන්හි තුවක්කු දෙකක් වෙඩි උණ්ඩ සමග පැහැරගෙන ඇත්තේ එවැනි පිරිස්. ඒ වගේම හමුදාවේ 24 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. දෙදෙනෙක්ට බරපතළ තුවාල සිදුවී තිබෙනවා. සැබෑ අරගලකරුවන් එවැනි ක්‍රියා නොකරන බව මගේ විශ්වාසයයි.

ඒත් කැරළිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තියෙනවා. කැරළිකරුවන්ට නීතිය යටතේ ක්‍රියාකරනවා. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරෝධය පළකර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට අප බැඳී සිටිනවා. මම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට බැඳී සිටිනවා. මම කිසිවිටක ව්‍යවස්ථා විරෝධී කටයුත්තකට ඉඩ දෙන්නේ නැහැ. අනුබල දෙන්නේ නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. නීතිය හා සාමය බිඳ වැටුණොත් එය අපේ ආර්ථිකයට බලපානවා. ඉන්ධන, විදුලිය, ජලය සැපයීම වගේම ආහාර ද්‍රව්‍ය සැපයීම බිඳවැටෙන්න පුළුවන්. අපි සියලුදෙනාම මේ අනතුරුදායක තත්ත්වය තේරුම් ගත යුතුයි. නීතිය හා සාමය රැකීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් මා පත්කර තිබෙනවා.

කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව නිත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබාදී තිබෙනවා. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය පසුගිය සඳුදා පැවති පක්‍ෂ නායක රැස්වීමේදී අපි අවධාරණය කළා. ඒ සඳහා පොදු එකඟතාවකට වහා එළඹෙන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂවලින් ඉල්ලා සිටිනවා. මේ දේශපාලන පක්‍ෂ භේද සහ මතිමතාන්තර පසෙකලා රට වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතුයි. ඒ නිසා තම තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් පැත්තකට දමන්න. රටේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන්න. පුද්ගලයන් ආරක්‍ෂා කරනවාට වඩා රට ආරක්‍ෂා කරන්න හිතන්න. ජීවත් වීමට, දේශපාලනය කිරීමට අපිට රටක් තිබිය යුතුයි. ඒ නිසා රට ගැන සිතා, කටයුතු කරන ලෙස පක්‍ෂ සහ දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

මේ ව්‍යාකූල තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරාගත යුතුයි. ඊළඟට පක්‍ෂ දේශපාලනය දෙසට හැරෙමු. වැඩ බලන ජනාධිපති ලෙස මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දු දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. රටක තියෙන්න ඕන එක කොඩියයි. එය ජාතික කොඩිය විතරයි. අපි ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවන ලබමින්. අපි මුහුණ දෙන ගැටලු පිළිබඳව ගැඹුරින් සිතන්න. මුළු රටටම නව ගමනක් යෑමේ ප්‍රවේශය සැකසී තිබෙනවා. දූෂණයෙන් තොර සාමකාමී නව සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශ වඩාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා. අපේ මවුබිම යළිත් ඉහළට ඔසවා තැබීම අපේ යුතුකම හා වගකීමයි. ඉතින් අලුත් යුගයක් ඇති කිරීමට සියලුම දෙනා ශක්තිය ලබාදෙමු. අපි සියලුදෙනාම ඒ මල් වට්ටියට අත ගැසිය යුතුයි.

තව දෙයක් සිහිපත් කරන්න තියෙනවා. පසුගිය මැයි මාසේ 23 වැනිදා මම රට වෙනුවෙන් බරපතළ තීරණයක් ගත්තා. ඒ තීරණය ගත්තේ මේ රටේ මිලියන 22ක ජනතාව වෙනුවෙන්. ඒ තීරණයේ වගකීම ඉෂ්ට කරන්න නිත්‍යානුකූලව බැඳී සිටිනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment