ව්‍යවස්ථා විරෝධී කැලෑ පාරවල්වලින් ඡන්දය කල්දාන්න ජනපතිට ඉඩ දෙන්නේ නෑ – අනුර කුමාර දිසානායක

96

ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී කැලෑ පාරවල්වලින් ඡන්දය කල්දාන්න රනිල් වික්‍රමසිංහට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්නා ලද සියලු ලජ්ජා සහගත ක්‍රියාමාර්ග මේ වනවිට අවසන් වී තිබෙනවා. මේ නිසා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තිබෙන බවට සුබවාදී බලාපොරොත්තු තබාගත හැකියි. මෙම මැතිවරණය වැළැක්වීමට නීත්‍යානුකූලව තිබෙන්නේ ආකාර දෙකයි. පාර්ලිමේන්තුව විසින් නව නීති සම්පාදනයක් සිදුකර ගැනීම සහ අධිකරණයකින් නියෝගයක් ලබාගැනීම යන දෙයාකාරයයි.

මැතිවරණය කල්දැමීම සඳහා පාර්ලිමේන්තුවෙන් තිබෙන සියලු අවස්ථා දැන් අවසන්. ඒ වගේම ඉතිරි වී තිබෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව මෙයට පෙර අධිකරණය විසින් ලබාදී තිබෙන තීන්දු දෙකක් අනුව සිදුකළ නොහැකියි. මහජනයා විසින් විධායක ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට නියමිත කාලය කිසිසේත්ම දීර්ඝ කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන සහ පළාත් සභා පාලනය කිරීම සඳහා නිලධාරීන්ට බලය පැවරිය නොහැකි බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. මේ නිසා පූර්ව නඩු තීන්දු මත පිහිටා ක්‍රියාකිරීමෙන් අධිකරණය මගින් මැතිවරණය කල්දැමීමට ඇති අවස්ථා අහිමි වී ඇති බව අපේ විශ්වාසයයි.

නමුත් ආණ්ඩුව වෙනත් කැලෑ පාරවල් තෝරමින් තිබෙනවා. එක කැලෑ පාරක් වුණේ පසුගියදා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් බව කියා, ඇප මුදල් තැන්පත් කිරීම භාර නොගන්නා ලෙස ඉල්ලීමක් කර තිබීමයි. සැබැවින්ම කැබිනට් මණ්ඩලය මෙවැනි තීන්දුවක් ගත්තාද කියා මම

දැනගන්න කැමතියි. ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්, ව්‍යවස්ථා සම්පාදකයන්, ව්‍යවස්ථා නීති විශාරදයන් ඉන්නවා යැයි කියන කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී තීන්දුව ගන්න හවුල් වුණාද කියලා රටට කියන්න ඕනෑ. අලි සබ්‍රි ජනාධිපති නීතිඥවරයා, අධිනීතිඥ විජේදාස රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා වගේ නීතිය පිළිබඳව විශාරදයින් හැටියට කටයුතු කරන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් කැබිනට් මණ්ඩලයේ මෙම තීන්දුව ගැනීම සඳහා හවුල් වුණාද කියලා රටට කියන්න ඕනෑ. ඒ ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී තීරණය අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන්ට නාමයෝජනා ඇප මුදල් භාර නොගන්නා ලෙසට දන්වා යවා තිබුණා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙක්. නීල් හපුහින්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මෙම නීති විරෝධී තීරණය අවුරුදු තුනක් සිරදඬුවම් ලබාදිය හැකි වරදක්. නීල් හපුහින්නගේ මෙම ක්‍රියාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මේ වනවිටත් අපි නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා. මේ ඡන්දය වැළැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහගේ කැත ලැජ්ජා සහගත හොර පාරවල් තේරීමත් අවලංගු වී තිබෙනවා. දැන් ඡන්දය වැළැක්වීමට විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ජනාධිපතිගේ උපදේශකවරයෙක් සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයෙක් මූලික වී දියත්කර තිබෙනවා.

මැතිවරණයට රුපියල් බිලියන 10ක් හොයා ගන්න බැරිනම් ආණ්ඩුවට බලයේ සිටීමේ අයිතියක් නැහැ. ආණ්ඩුව ඉවත්වෙන්න ඕනෑ. අනික් පැත්තෙන් මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විකල්ප ගණනාවක් තිබෙනවා. සතියේ දිනෙක මැතිවරණය පැවැත්වීම තුළින් අතිකාල වැනි වියදම් අඩුකර ගත හැකියි. මේ මැතිවරණයේ ඡන්දය ගණන් කරන්නේ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේදී. මේ නිසා පැය දෙකකින් පමණ ගණන් කර අවසන් කළ හැකියි. මෙයින් අතිකාල දීමනා විශාල වශයෙන් ගෙවන්න සිදුවන්නේ නැහැ. තව පැත්තකින් රාජ්‍ය සේවකයන්ගේ මැතිවරණ දීමනා ඒ මොහොතේම ගෙවීම් සිදුකරන්නේ නැහැ. මාස හතර, පහ වගේ කාලයක් ඇදෙනවා. ඇමතිවරු කියන්නේ ඡන්දය පැවැත්වුව හොත් පඩි කපන්න සිදුවෙන බවයි. විශ්‍රාම වැටුප, සමෘද්ධිය කපන්න වෙන බවට ගෙනයන ප්‍රචාර බොරු.

මේ ඡන්දය වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ දරන ලද ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග සියල්ල අද වන විට අවසන් වී තිබෙනවා. ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී කැලෑ පාරවල්වලින් ඡන්දය කල්දාන්න රනිල් වික්‍රමසිංහට ඉඩ නොදෙන බව අපි අවධාරණය කරනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කණ්ඩායම් දෙකක් ඉන්නවා. ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් අගමැතිවරයාත් බුද්ධි අංශයේ ප්‍රධානීන්, පොලිස්පති ඇතුළු කණ්ඩායම් ප්‍රහාරය වළක්වා නොගැනීම සඳහා වගකිවයුතු බව අපි දිගින් දිගට ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ නැහැ.

මෙම තීන්දුව දී තිබෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවකට අදාළවයි. සාපරාධීව වගකීම් පැහැර හැරීම පිළිබඳව නීතිපතිවරයා ක්‍රියාකරන ආකාරයත් මේ නඩු තීන්දුවත් අපේ නීතිඥ කණ්ඩායම් විසින් අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ තීන්දුව මත ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අපේ ස්ථාවරයයි. නමුත් මෙම තීන්දුවෙන් මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳව හෙළිදරව් වෙන්නේ නැහැ. ඔවුන් පිළිබඳව හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment