ව්‍යාජ අංක තහඩු ගසාගෙන පෙට්‍රල් ගන්න ඇවිත් මාට්ටු

296

නොර්වුඩ් නගරයේ පිහිටි මස්කෙලිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලෙන් ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් පෙට්‍රල් ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවකු නොර්වුඩ් පොලිසිය විසින් (23) දින අත්අඩංගුවට ගෙන ඇත.

එම ඉන්ධන පිරවුම්හලට (23) දින පෙට්‍රල් ලීටර් 3300 ක් නිකුත් කර තිබූ අතර, වාහනයේ අංක තහඩුවේ අවසාන අංක වන 0 සිට 3 දක්වා වාහනවලට සීමා සහිතව නිකුත් කිරීමට එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

ගම්පොල ප්‍රදේශයේ පදිංචි සැකකරු (27) ඔහු රැගෙන පැමිණි යතුරුපැදියට ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ඉන්ධන ලබාගැනීමට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නොර්වුඩ් පොලිසියේ නිලධාරීන් යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව සවි කර තිබූ ඇණයක් බුරුල් වී ඇති බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව පසුව එම යතුරුපැදියේ ලියැකියවිලි පරීක්ෂා කිරීමේදී ඉන්ධන ලබාගැනීම සඳහා වෙනත් යතුරුපැදියක අංක තහඩුවක් සවිකරගෙන පැමිණ ඇති බවට තහවුරු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සැකකරු නොර්වුඩ් ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සේවය කරන අයකු බවට තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැරි බවත්, ව්‍යාජ අංක තහඩු ප්‍රදර්ශනය කරමින් යතුරුපැදිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නොර්වුඩ් පොලිසිය පැවසීය.

ජායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment