ව්‍යාජ චීන භීතිකාවක් එපා – ආචාර්ය ගුණදාස අමරසේකර ඇමෙරිකානු තානාපතිගෙන් ඉල්ලා සිටී

155

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අර්බුදය උත්සන්න කිරීමට චීන රජයේ ක්‍රියාමාර්ගයන් හේතුවී ඇති බවට අඟවමින් මෙරට ඇමෙරිකානු තානාපතිනිය එක්සත් රාජධානියේ රූපවාහිනී වැඩසටහනකදී කර ඇති බව කියන මත පළකිරීම හමුවේ ව්‍යාජ ලෙස චීන භීතිකාවක් මැවීමට උත්සාහ නොකරන ලෙස ජාතික සංවිධාන එකමුතුව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

එම එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර යවා ඇති එම ලිපියෙහි මෙසේද දැක් වේ.

චීනයට විශේෂිතව දොස් පැවරීම මගින් චීනයට එරෙහිව මහජන මතයක් ගොඩනැඟීමට සහ චීන රජය සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රතිවිරෝධයක් ගොඩනැගීමට ඔබ විසින් උත්සාහ කරන බවට සාධාරණ චෝදනාවක් එල්ලකිරීමේ හැකියාව ඇත. මේ වනවිට චීන රජය විදේශ ණය පිළිබඳ තම පොදු ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට එකඟවී ඇත. ඊට අමතරව ඛනිජ තෙල්, ඖෂධ, ආහාර, පාසල් නිල ඇඳුම් ආදිය සඳහා විශාල වශයෙන් ආධාර ලබාදෙමින් අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදී ඇත.

එම නිසා ඔබ විසින් උත්සාහ කරනු ලබන්නේ ඊට බාධා එල්ලකරමින් ශ්‍රී ලංකාව තවදුරටත් අර්බුදයේ ගිල්ලවීමට ද යන්න ප්‍රශ්නයක් ඇසිය යුතු වේ. ශ්‍රී ලංකාවේ ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීම සඳහා ඔබ විසින් සිදුකළ මැදිහත්වීම පිළිබඳව හෙළිදරව් වී ඇති තොරතුරු අනුව එබඳු ප්‍රශ්නයක් ඇසීම තර්කානුකූල වන බව ඔබට පිළිගැනීමට සිදු වේ.

අවසන් වශයෙන් පහත සඳහන් ඉල්ලීම් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

  1. චීන විරෝධයක් ගොඩනැඟීම මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට බාධා නොකරන ලෙස
  2. ආපදා අවස්ථා යොදාගනිමින් චීන රජය හා ශ්‍රී ලංකාවේ රජය මෙන්ම චීන ජනතාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින දීර්ඝ කාලයක මිත්‍රත්වය බිඳහෙළීම මගින් ඉන්දු – පැසිපික් න්‍යාය පත්‍රයට අදාළ භූ දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ නොකරන ලෙස
  3. ඇමැරිකාව සතු ප්‍රතිපත්ති තීරණය කිරීමේ නිශේධබලය යොදාගනිමින් සියලු ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට අසාධාරණ පූර්ව කොන්දේසි පැනවීම සිදු නොකළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උපදෙස් ලබාදෙන ලෙස.
  4. ජාත්‍යන්තර මූල්‍ය පද්ධති තුළ ඩොලරය සතු බලය යොදාගනිමින් ඔබ රටේ මහ බැංකුව විසින් වසරකට ඩොලර් බිලියන ගණනින් මුද්‍රණය කරනු ලබන මූල්‍ය පහසුකම්වලින් බිඳක් යොදා ගනිමින් චීන රජය සිදුකරන ආකාරයට අත්‍යවශ්‍ය ඖෂධ සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ආධාර ලබාදීමට කරුණික වන ලෙස (ඇමෙරිකා එක්සත් ජනපද රජය 2020 වසරේදී මුද්‍රණය කළ ඩොලර් ප්‍රමාණය බිලියන 3000 ක් බව ඔබ දන්නවා ඇත.)
advertistmentadvertistment
advertistmentadvertistment