ව්‍යාපාරයට හවුල් කරගත් කාන්තාවට පහරදී ගෙල පාගා මරාදාලා

1153

මළ සිරුර දර පෝරණුවේ සඟවා පසුව පාළු ළිඳට දැමූ සැකකරු අත්අඩංගුවට

අමානුෂික ලෙස ඝාතනය කර පාළු ළිඳකට දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා (24 දා) පස්වරුවේ වැලිමඩ පොලිසිය විසින් සොයා ගෙන තිබේ. ඝාතනයට සැකපිට වයස අවුරුදු 35 ක පුද්ගලයෙක්ද වැලිමඩ පොලිසිය විසින් අත්ඩඅංගුවට ගෙන තිබේ.

මෙසේ අමානුෂික ලෙස ඝාතනයට ලක්ව තිබුනේ කැප්පෙටිපොල පුරංවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක දෙදරු කාන්තාවකි.

මෙම කාන්තාව සහ අත්අඩංගුවට පත් පිරිමි පුද්ගලයා වැලිමඩ නගරයේ ආපන ශාලාවක සේවය කර ඇති අතර එහිදී ඇති වු හිතවත්කම මත දෙදෙනා ඉන් ඉවත්ව වැලිමඩ සාප්පුකඩේ ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලියට ගෙන එහි පසුගිය දිනෙක ආපන ශාලාවක් ආරම්භ කර තිබේ. ඒ සඳහා දෙදෙනාම මුදල් යොදවා ඇති බවටත් මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය කර ගෙන තිබේ. පිරිමි පුද්ගලයා තලවකැලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ. ඉකුත් 22 වන දින මෙම කාන්තාව අතුරුදන්ව ඇති බව මෙම සැකකාර පුද්ගලයා විසින් එම කාන්තාවගේ වැඩිමහල් දියණියට දන්වා ඇති අතර ඉන්පසු මේ පිළිබඳව දියණිය විසින් වැලිමඩ පොලිසියට තම මව අතුරුදන්ව ඇති බවට පැමිණිලි කර තිබේ.

වහා ක්‍රියාත්මක වූ වැලිමඩ පොලිසියේ නිලධාරින් අදාළ ආපන ශාලාවේ සිටි සැකකාර පිරිමි පුද්ගලයාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ලැබුණු පරස්පර ප්‍රකාශ නිසා සැක සිතු පොලිසිය ආපන ශාලාව අවට ප්‍රදේශ දැඩි ලෙස පරීක්ෂාවකට ලක් කර තිබේ. එහිදී ආපන ශාලාවට මඳ දුරකින් පිහිටි ඉඩමක පිහිටි පාළු ළිඳකට රෙදිවලින් ඔතා දමා තිබු අදාළ කාන්තාවගේ මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.

අදාළ කාන්තාව සමග ඇති වු බහින්බස්වීමකදී තමන් විසින් කාන්තාවට පහර දී ඇගේ ගෙල පාගා මරා දැමූ බව පවසා තිබේ. ඉන්පසු මළ සිරුර ආපන ශාලාවේ පෝරණුවේ දිනක් තබා ගෙන සිට කාටවත් නොපෙනෙන සේ රැගෙන ගොස් මෙලෙස ළිඳට දමා තම මව අතුරුදන් බවට ඇගේ දියණියට පැවසු බවත් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සැකකරු අනාවරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධව වැලිමඩ මහෙස්ත්‍රාත් පී. ජයසේකර මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ළිඳේ තිබූ මෘත දේහය ගොඩ ගැනීම සිදු කෙරිණි. කාන්තාවගේ මළ සිරුර දියණියන් විසින් හඳුනා ගනු ලැබිණි.

වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් වැලිමඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. තුසිත කුමාර මහතා ඇතුළු නිලධාරින් විසින් මෙම විමර්ශනය කර අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර පිරිමි පුද්ගලයා වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment