ව්‍යාපාරිකයකුගෙන් රු.මිලියන 34.05ක් වංචා කිරීම – ඇමැති ප්‍රසන්න – වසර දෙකක් හිරේ – දඬුවම වසර  5කට අත්හිටුවයි – කෝටි 2 1/2ක දඩයක්

501

පළමු සාක්‍ෂිකරුට  ලක්‍ෂ 10ක් වන්දි  ගෙවීමටත් නියෝග

බිරිඳ සහ ඥාති සොහොයුරා  නිදොස් කොට නිදහස්

ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් මිලියන 34.05 ක් වටිනා පොරොන්දු නෝට්ටු භාරදීමට වංක ලෙස පෙලඹවීමේ චෝදනාවට එනම් 13 වන චෝදනාවට වරදකරු කරනු ලැබූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට වසර පහකට අත්හිටුවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (06 දා) නියෝග කළේය.

එයට අමතරව රුපියල් ලක්‍ෂ 250 ක දඩයක් ගෙවීමටත් එම දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත මාස 9 ක සිර දඬුවම් ලබාදීමටත් විනිසුරුවරයා එහිදී නියෝග කළේය. එම නඩුවේ පළමුවන සාක්‍ෂිකරුට රුපියල් ලක්‍ෂ 10 ක වන්දියක් ගෙවීමටත් එකී වන්දිය දඩයක් ලෙස අයකර ගැනීමටත් නියම කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම වන්දිය නොගෙවන්නේ නම් මාස තුනක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියම කළේය.

විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ද නියම කළ විනිසුරුවරයා ඔහුට එරෙහිව නඟා තිබූ සෙසු අධිචෝදනා හයකින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියම කළේය.

එම නඩුවේ දෙවන හා තුන්වන විත්තිකරුවන් ලෙස නම්කොට තිබූ ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන මොරින් ස්ටෙලා රණතුංග මහත්මිය හා ඇගේ ඥාති සොහොයුරකු වන නරේෂ් කුමාර් ෆායිස් නමැත්තා ඔවුනට එරෙහිව නඟා තිබූ සියලුම අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා 13 වන අධිචෝදනාවට වරදකරු කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නිල බලය හා දේශපාලන බලය යොදා ගනිමින් එවැනි වැරදි සිදුකරන සෙසු දේශපාලනඥයන්ට ද පාඩමක් කියාදෙන අයුරින් ලබාදිය හැකි උපරිම දඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රටේ මහජනතාව සිය ඡන්දය භාවිත කරමින් මහජන නියෝජිතයන් පත් කරනුයේ එවැනි දූෂණ වැඩ කිරීමට නොවන බවත් සමහර දේශපාලනඥයන් පිස්තෝල රැගත් ආරක්‍ෂකයන්ගේ රැකවරණය තබාගෙන සිදුකරනුයේ දේශපාලනය නොව ව්‍යාපාර බවත් හෙතෙම කියා සිටියේය. මෙම විත්තිකරු නඩු විභාගයේදී වරද පිළිගත් අයකු නොව රජය විසින් අතිවිශාල මුදලක් වැයකර නඩු කටයුතු පවත්වාගෙන යෑමෙන් අනතුරුව අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ අයකු වන බැවින් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සලකා එවැනි විත්තිකරුවන්ට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීම අධිකරණයේ වගකීම බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

පසුගිය මැයි 9 වැනිදා රට තුළ ඇතිවූ කලහකාරී සිද්ධීන්වලදී සිය සේවාදායකයාගේ නිවස ද ගිනිතබා ඇති බවත් පෙර වැරදි හෝ පවතින නඩු කිසිවක් නොමැති ඔහුට ලබාදිය හැකි අවම දඬුවම ලබාදෙන ලෙසත් ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥ ජයබා කළුපහන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.

දේශපාලන හේතුන් මත විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා ඇති බවට විත්තිය යෝජනා කළත් එවන් තත්ත්වයක් තම අධිකරණයට පෙනී නොයන බවත් නීත්‍යනුකූල ආකාරයෙන් විමර්ශන සිදුකර නීත්‍යනුකූල ආකාරයෙන් නඩු පවරා ඇති බවට තම අධිකරණයට පෙනී යන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

සිය බලය අවභාවිත කර ඇති එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විත්තිකරු අයුතු ලාභයක් ලබා ඇති බව තම අධිකරණයට පෙනී යන බවද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

2010.04.10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සුරංජිත් ක්‍රිස්ටියන් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තා බියගන්වා රුපියල් මිලියන 64 ක් වටිනා චෙක්පත් හා පොරොන්දු නෝට්ටු පහක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 15 ක් යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment