ව්‍යාපාරිකයෙකු මිතුරු කරගෙන ලිංගිකව හැසිරී ඒවා වීඩියෝ කර කප්පම් ඉල්ලූ කත අත්අඩංගුවට

1149

ප්‍රබල ව්‍යාපාරිකයෙකු සමග ඉන්දියාවේ දී අඹුසැමියන් ලෙස එක්වන අතරතුර එය හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර පසුව එම දර්ශන ව්‍යාපාරිකයාගේ නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කොට බියවද්දා රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක සහ එයට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව සිටී.

කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

කොළඹ 10 මාළිගාවත්ත, ජුම්මා මස්තිස් පාරේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක සහ කොළඹ 15, මට්ටක්කුලිය, ෂාම්පාර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

සැකකාර කාන්තාව ඉන්දියාවේ දී පැමිණිලිකාර ව්‍යාපාරිකයා හඳුනාගෙන ඇති අතර එහිදී ඇතිවූ සම්බන්ධකමක් මත අවස්ථා කිහිපයකදී ලිංගිකව හැසීරී එය සිය ජංගම දුරකථනයෙන් හොර රහසේ වීඩියෝ ගතකර ඇතැයි පොලිසිය කීය.

පසුව ඇය එම දර්ශන සීඩී තැටි වලට පටිගත කොට ව්‍යාපාරිකයාගේ නෑයන්ට පෙන්වන බවට බියවද්දා තර්ජනය කොට රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ඉල්ලා සිට ඇත. එයට බියවූ ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඇයගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැරකර ඇතැයිද පොලිසිය කීය.

ඉතිරි මුදල ලබාදෙන ලෙස සැකකාරිය තවදුරටත් පැමිණිලිකරු බියවද්දා ඇති අතර එම මුදල් ලබාගැනීම සඳහා, සැකකාරිය එයට අනුබල දුන් පුද්ගලයා සමගින් මෝටර් රථයෙන් පැමිණ සිටියදී බේරුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තවදුරටත් ඔවුන් පරීක්ෂා කිරීමේදී දෙදෙනා ලිංගිකව හැසිරෙන දර්ශන ඇතුළත් සීඩී තැටි 2 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයද සොයාගෙන ඔවුන් පැමිණි මෝටර් රථයද භාරයට ගත්බව පොලිසිය පවසයි.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරීවරුන් වන ජගත් විජේසුන්දර සහ දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී.ආර්. වීරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

ආර්.ඒ.එස්.ප්‍රේමතිලක බණ්ඩාරගම සහ කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment