ව්‍යාපාර ලෝකයේ දාර්ශනිකයා

437

උපාලි සමූහ ව්‍යාපාර නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 40 වැනි ගුණ සැමරුම හෙට (13දා) ට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි..

දහතුන අංකය අසුභ පල ගෙන දෙන අංකයක් බවට පොදු මතයක් ජනයා තුළ තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා කුරුසයේ ඇණ ගසන ලද්දේ 13 වැනි දිනක බව කියනු ලැබේ. 13 අංකයේ අශුභ භාවයේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද උපාලි විජයවර්ධන රැගත් ගුවන් යානය ද මැලේසියාවට නුදුරු මලක්කා සමුද්‍ර සන්ධියේදී පුපුරා ගොස් විනාශයට පත් වූයේද පෙබරවාරි මාසයේ දහතුන් වැනිදා දිනකය. ඔහු තවමත් ජීවත්ව සිටින බවට සමහරු විශ්වාස කරන නමුත් මට ස්ථීරවම කිව හැක්කේ ඔහු මියගිය බවය. මැලේසියාවේ ධීවරයන් එම ‘ලියර් ජෙට්’ යානයේ රෝදයක් පවා රැගෙන ආ අතර, කොළඹ අමාත්‍යාංශයේ සිට මා සේවය කරමින් සිටි වොෂිංටන් නුවර තානාපති කාර්යාලයට ටෙලෙක්ස් පණිවුඩයක් එවමින් දන්වා සිටියේ ඒ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කර බලන ලෙසය. එම ලියර් ගුවන් යානය අයත් සමාගම අමතා එම රෝදය උපාලි පැමිණි යානයේ රෝදයක් දැයි විමසූ විට එම සමාගමද සඳහන් කළේ එය එම ගුවන් යානයේ රෝදයක් බවය. එම විස්තරය මා විසින් කොළඹට දැන්වූ නමුත් ඒ පිළිබඳව වැඩිදුර හඹා යෑමක් නොවීය. 2012 වර්ෂයේ මා මැලේසියාවේ මහ කොමසාරිස් වශයෙන් සේවය කරමින් සිටියදී මැලේසියාවේ බලධාරීන්ගෙන් මේ සිද්ධිය පිළිබඳව විමසුවෙමි. ඔවුන් තම ලිපි ලේඛන පරීක්ෂා කර බලා තවදුරටත් සනාථ කළේ එම යානයේ කොටස් මලක්කා සමුද්‍ර සන්ධියේ සිට රැගෙන ආ බව සහ ලංකා රජය ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීමක් නොකළ නිසා ඒ පිළිබඳව ඔවුන් එතරම් උනන්දුවක් නොදැක්වූ බවය. උපාලි විජයවර්ධන හඳුනා ගැනීමට සහ ඔහු සමඟ එකට වැඩ කිරීමට ලැබීමද මා ලද වරප්‍රසාදයක් මෙන්ම අමතක නොවන අත්දැකීමක්ද වේ. මෙම මිත්‍රත්වය නිසා මම වඩාත් විවිධ අංශවලින් පෝෂිත වූ පුද්ගලයෙක් බවට පත් වීමි. පිලිපීනයේ මහ කොමසාරිස් ලෙස කටයුතු කළ මා හදිසියේම කොළඹට කැඳවන ලද අතර, මහ කොළඹ ආර්ථික කොමිසමේ ප්‍රථම ආයෝජන මණ්ඩලයේ විධායක ලේකම් ධුරයට පත් කරනු ලැබීය. එහි ප්‍රධානියා වූයේ උපාලි විජයවර්ධනය. පසුව මට දැනගන්නට ලැබුණේ වර්තමාන ජනාධිපතිවරයාගේ පියා වූ මා ඉතා හොඳින් දැන සිටි එස්මන්ඩ් වික්‍රමසිංහ සහ ලලිත් ඇතුලත්මුදලි විසින් එම තනතුරට මා සුදුසු බවට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වෙත නිර්දේශ කොට තිබූ බවය. මෙම තනතුරට පත් වීමත් සමඟම ඉතා අවංක සිවිල් සේවකයකු වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රාජු කුමාරස්වාමි මහතා සමඟ එකට සේවය කිරීමේ අවස්ථාව සැලසුණි. අපට යම් කිසි කාරණයක් සඳහා ජනාධිපති අනුමැතිය අවශ්‍ය වූ විට ජනපති ඔහුට දැක්වූයේ ඉතා උසස් සැලකිල්ලකි. මක් නිසාදයත් අප සේවය කළේ ජනාධිපති යටතේ බැවිනි. අපගේ ඉල්ලීම් අඩංගු ලිපි රැගෙන ජනාධිපති (එවකට සී. කුමාරස්වාමි ජනාධිපතිගේ ආර්ථික උපදේශක ලෙස සේවය කළ බැවින් ඔහුට ද ජනාධිපතිගේ ලිපි ශීර්ෂ තිබුණි.) අනුමැතිය සඳහා ගෙන ගිය විට ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපති එයට අත්සන් තැබීය.

රාජු කුමාරස්වාමි මහතා වෙත ජනාධිපති තැබුයේ එවැනි විශ්වාසයකි. අප කතාව නැවතූ විචිත්‍ර ස්ථානය වෙත යළිත් යමු . එවකට ලංකාවේ සිටි එකම ඩොලර් දස ලක්ෂපතියා වූයේ උපාලි විජයවර්ධනය. එවකට එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් තුළ විශාල බියක් තිබුණි. එය නම් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව ජනාධිපති පදවියට පත් වන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ ඥාති සොයුරු වන උපාලි විජයවර්ධන බවට ඔවුන් සැක කිරීමය. ඒ අනුව ඔහුට බාධා පැමිණවීමට ඔවුහු උත්සාහ කළහ. ඒ අනුව සෑම අංශයකින්ම ඔහුට බාධා එල්ල විය. එක් සිද්ධියක් මගේ මනසට නැඟේ. එය නම් උසස් තනතුරු දීම සලකා බැලීමේ කමිටුව විසින් තීරණය කළේ මහ කොළඹ ආර්ථික කොමිසමේ සභාපති ධුරය සඳහා උපාලි නුසුදුසු බවය. ඒ සඳහා පෙන්නුම් කළේ පොලී මුදල් පිළිබඳ ගැටුමකි. පසු දිනම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් උපාලි, කුමාරස්වාමි සහ මාවද ඔහු ඉදිරියට කැඳවා ඒ පිළිබඳව අප වෙත දන්වා සිටියේය. ජනාධිපතිවරයා උපාලි දෙස බලා ඔහු අමතමින් ‘කවුද තීරණය කළේ මෙම තනතුර සඳහා ඔබ සුදුසු බවට. කවුද ඔබව පත් කළේ’ යැයි ප්‍රශ්න කළ විට ඒ සැණෙන්ම එයට පිළිතුරු දුන් උපාලි ‘ඔබයි මා පත් කළේ’ යැයි කියා සිටියේය. ඒ පිළිතුරත් සමඟම මදක් නිහඬ වූ ජනාධිපතිවරයා ‘එහෙම නම් ඔබව ඉවත් කිරීමට මා තීරණයක් ගන්න තුරු, මහ කොළඹ ආර්ථික කොමිසමේ සභාපති ලෙස තවදුරටත් රැඳී ඉන්න.! යැයි පැවසීය. උපාලි එම තනතුරේ තවදුරටත් රැඳී සිටියේය. පාර්ලිමේන්තුව ඔහු ගැන යළිත් ජනාධිපති වෙත වාර්තා කළේ නැත. මා විසින් තනතුරු භාර ගෙන සති කිහිපයකට පසුව ජනාධිපතිවරයා විසින් උපාලි, රාජු කුමාරස්වාමි සහ මාද කැඳවා, ලංකාව විසින් මූලාසනය දැරූ නොබැඳි ජාතීන්ගේ සමුළුව ගැන කතා කරමින් ‘දුප්පත් අය සමඟ එක්වන්නට මට වුවමනා නැහැ. බටහිරට ගොස් ආයෝජකයන් කැඳවා ගෙනැවිත් අප රටේ රැකියා නිර්මාණය කරන්නැයි’ පැවසීය. උපාලිගේ නායකත්වය යටතේ කටයුතු කොට ආයෝජකයන් ගෙන්වා වසර තුනක් ගත වීමටත් පෙර රැකියා තුන් දහසකටත් වැඩි ප්‍රමාණයක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇති කිරීමට අපට හැකි වීමු. අප තිදෙනා ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කළමනාකාර රොහාන් වීරසිංහ සමඟ පරතෙරක් නොබලා ගොස් අප රටට ආයෝජකයන් රැගෙන අවෙමු. 1979 සහ 1980 වර්ෂවලදී අප සිලිකෝන් වැලි වෙත ගියෙමු. එසේ යෑමට සිදු වූයේ ඇඟලුම් කර්මාන්තයට වඩා වෙනස් කර්මාන්තද අප සෙවිය යුතු නිසාය. එසේ විවිධ කර්මාන්ත සඳහා ආයෝජකයන් ගෙන්වා අප රට ආසියාවේ දැනුම් සම්භාරයක් ඇති වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කළ යුතු බව උපාලි කියා සිටියේය. ඒ සමගම ‘චිප්’ නිපදවන යෝධ කර්මාන්ත ශාලා සහ මෝටරෝලා නිෂ්පාදන කර්මාන්ත ශාලා පහක් මෙහි පිහිටුවීම සඳහා මහ කොළඹ ආර්ථික කොමිසම ගිවිසුම්වලට අත්සන් තබනු ලැබීය.

අප කොළඹ ආපසු පැමිණීමත් සමඟම අප ලද ජයග්‍රහණය වෙනුවෙන් උපාලි විසින් ප්‍රීති උත්සවයක් ද පවත්වනු ලැබීය. අවාසනාවකට මෙන් සිය ඥාති සොහොයුරා වන ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමග වූ මත ගැටුමක් හේතුවෙන් 1981 දෙසැම්බර් මාසයේදී උපාලි තම තනතුරෙන් ඉල්ලා අස්විය. 1983 වර්ෂය එළඹෙත්ම ‘චිප්’ නිෂ්පාදන සමාගම් විසින් කර්මාන්තශාලා තැනීම ආරම්භ කළ අතර යම් දුෂ්ඨ පුද්ගලයන් විසින් කොළඹ සහ වෙනත් ප්‍රදේශවල අහිංසක ද්‍රවිඩ ජනතාවට ප්‍රහාර එල්ල කළහ. එයට හේතුව වූයේ යුද හමුදා භටයන් රැගෙන යන වාහනයකට උතුරේ තින්නවැලි නගරය ආසන්නයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමය. මෙම බෝම්බ ප්‍රහාරයත් සමඟ දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරවලින් මියගිය අය අතර මෙම කර්මාන්ත ශාලා තැනීමේ කටයුතු අධීක්‍ෂණය කරමින් සිටි ද්‍රවිඩ ඉංජිනේරුවරු දෙදෙනෙක්ද වූහ. ඒ අනුව මෝටරෝලා සහ හැරිස් කර්මාන්තශාලා හිමියෝ ඔවුන්ගේ ව්‍යාපෘති අවලංගු කොට දිවයිනෙන් පිටත්ව ගියහ. ඔවුන් පිටත්ව ගියේ මැලේසියාවටය. ඒ අවධියේ මා එම රටේ තානාපතිවරයාය. ඔවුන්ගේ ‘චිප්’ නිපදවන කර්මාන්තශාලාවේ පමණක් 4000 ක පිරිසක් සේවයේ යෙදී සිටියහ. එම පාඩුව අපට සිදුවූයේ 1983 වර්ෂයේ ඔවුන්ට දුන් වධ හිංසා නිසාය. උපාලි ගැන සඳහන් කරන විට කිව හැක්කේ ඔහු තම වෙළෙඳ ව්‍යාපාර පමණක් දියුණු කිරීමට ගිය අයෙක් නොවන බවය. ඔහුගේ මිත්‍රයා වන උපතිස්ස හුළුගල්ල සමඟ එක්වී ඔහුගේද සහාය ඇතිව ‘දි ‘අයිලන්ඩ්’ පුවත්පත සමඟ සිංහල පුවත්පත වූ ‘දිවයින’ පත්‍රය 1981 දී ආරම්භ කළේය. ‘දි අයිලන්ඩ්’ පත්‍රයේ මුල්ම කර්තෘ වූයේ විජිත යාපාය. මහ කොළඹ ආර්ථික කොමිසමේ මාධ්‍ය කළමනාකරුව සිටියේ ඔහුය. දැනට අප රට වැසියන් විසින් ගරු කරනු ලබන ‘දිවයින’ පුවත්පතට පදනම තබන ලද්දේ ඔහු සහ උපාලි විසිනි. අප රටේ මෝටර් රථ සවිකරන ප්‍රථම කර්මාන්ත ආයතනය ඇරඹුවේද උපාලිය. කැන්ඩොස් චොකලට් නිපදවන කර්මාන්ත ශාලාව සහ වෙනත් විවිධ දෑ නිපදවන කර්මාන්ත ශාලා ඇරඹුවේද උපාලිය. උපාලි එක්තරා පන්තියක පුද්ගලයෙක් වූ අතර ඔහු නිතරම ආරම්භ කළේ තත්ත්වයෙන් උසස් දෑ නිපදවන කර්මාන්තශාලාය. එමෙන්ම සේවකයන්ටද ඉතාම හොඳින් සලකනු ලැබිණි. ඔහුගේ උසස් පෙළපත සහ කේම්බි්‍රජ් අධ්‍යාපනයද ඔහුගේ ජීවිතය වඩාත් දීප්තිමත් කරගැනීමට ඉවහල් විය. උපාලි යනු තවත් ධනපති ව්‍යාපාරිකයකු නොවීය. ඔහු නිතරම අනෙක් අයට ඉතා ආධාර කළ ප්‍රයෝජනකාරී පුද්ගලයකු විය. ධනවත් ව්‍යාපාරිකයකු වූ ඔහුට මැලේසියාවේ කොකෝවා වගා ප්‍රදේශයක්ද තිබුණි. එමෙන්ම ඔහුට සිංගප්පූරුවේද වෙනත් ව්‍යාපාර තිබුණි. එමෙන්ම වෙළෙඳ භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයක් නිව්යෝර්ක් නගරයේද තිබුණි. ඔහු විසින් විවිධ පුද්ගලයන්ට සහ ආයතනවලටද ආධාර කරනු ලැබීය. ඔහු එක්තරා වාමාංශික පුවත්පතක් සඳහා ආධාර කළ බව දැනගත් විට සමහරුන්ට පුදුමය ගෙනදෙනු ඇත. ඔහුගේ සහාය නොලබන්නට එය නවතා දමන්නට තිබුණි. ඔහුගේ පුවත්පත්වල කටයුතු සඳහා කිසි විටෙක මැදිහත් නොවූ බවද කතුවැකිය ලිවීමේදී පවා ඔහු කිසිම ආඥාවක් නොපැමිණ වූ බවද මම දනිමි. ඔහු පුළුල් මනසක් ඇති නිදහස් චින්තකයෙකි. වටිනා අදහස්වලින් පිරුණු පුද්ගලයෙකි. ඇත්ත වශයෙන්ම ඔහුගේ අභාවයෙන් අප රටට ඇති වූයේ අති විශාල පාඩුවකි.

හිටපු තානාපතිවරයකු වූ කේ. ගොඩගේ මහතා විසින් කළකට ඉහත ‘දි අයිලන්ඩ්’ පත්‍රයට ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි.
කල්‍යානන්ද ගොඩගේ
පරිවර්තනය – එස්.කේ.ජේ. කුරේරා

advertistmentadvertistment
advertistmentadvertistment