ව්‍යාපෘතිවලට ගත් ණයවලින්  වැඩි කොටසක් ගියේ  පාලකයන්ගේ ගිණුම්වලට – අනුර කුමාර දිසානායක

472

ව්‍යාපෘතිවලට ගත් ණයවලින් විශාල මුදලක් ගියේ පාලකයන්ගේ ගිණුම්වලට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මාතර නගරයේ ප්‍රධාන පාසල්වල ආදි සිසුන් නියෝජනය කරන ‘මාතර අපි’ සංවිධානයේ හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

අද මෙතන ඉන්න බොහෝ පිරිසක් අපිත් එක්ක සාකච්ඡා නොකළ පිරිසක්. මේ අයට ඇත්තේ අපේ අදහස් නොවේ. අපි ගැන වෙන අය කියපු අදහස්. ඒ කියපු අදහස් තමයි වැඩිපුර ඇත්තේ. ඒ අතර විවිධ විවේචන දේශපාලන විවේචන යෝජනා ඇති.

අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. අපේ රටේ ආර්ථිකය 1978 සිට විවෘත ආර්ථිකය ස්ථාපිත කළා. ලෝකයේ ගොඩක් රටවල් ආර්ථිකය විවෘත කළා. නමුත් අපි හසුරවපු විධිය වැරදියි.

ලෝකයේ හැම රටක්ම තම ආර්ථිකය විවෘත කළේ තමන්ගේ ජාතික නිෂ්පාදනය, කර්මාන්තකරුවන් තමන්ගේ රටේ ආරක්ෂා කරගනිමින්. නමුත් අපේ රටේ එහෙම දෙයක් සිදුවුණේ නැහැ. අපේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන ණය ගැනීම්වලට ගියා. රටේ පාලකයන් විසින් දෙන තරමක් ණය ගත්තා. හැබැයි ඒ ණය අදාළ ව්‍යාපෘතිවලට යෙදෙව්වේ නැහැ. ඒ මුදල් විශාල ප්‍රමාණයක් තමන්ගේ ගිණුම්වලට පුරවා ගත්තා.

දේශපාලන ව්‍යාපාරයක් හැටියට මොකක් හරි දෙයක් සිදුවුණාම ඒගොල්ලො යන අවසාන තැන තමයි 88 – 89 යුගය. ඒක අවුරුදු 33කට වඩා වැඩි ඉතිහාසයක්. අපි ඒ පිළිබඳව පුළුවන් තරම් පැහැදිලි කරල තියෙනවා. නමුත් තාමත් අමුතු චිත්‍රයක් තියෙනවා. අපි ඒක දන්නවා. මම එකක් කියන්නම්. ඕනෑම යුද්ධයකදී ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා. පරාජිතයා ඉතිහාසය ලියන්නේ නැහැ. 88 – 89 කාලයේදී අපි පරාදයි. ඉතිහාසය ලිව්වේ කවුද ජයහ්‍රාහකයා. ඒවගේම අපි දන්නවා ඕනෑම යුද්ධයකදී සිදුනොවිය යුතු සමහර දේ සිදුවුණා.

බලශක්ති ප්‍රශ්නය ගත්තාම සෑම භාණ්ඩයකටම වඩා බලශක්ති භාණ්ඩය විශේෂයි. ඒ වෙලාවේම නිෂ්පාදනය කළාම ඒ වෙලාවේම පාවිච්ච් කළ යුතුයි. දැන් අපි ජනනය කරන විදුලිය ඒ වෙලාවේම පාවිච්චි කරනවා. 6-9 අතර කාලයේ උපරිම ධාරිතාවයක් තියෙන්න ඕන. උපරිමය තියෙන වෙලාවට තමයි බලශක්තිය නිෂ්පාදනය කරන්න ඕන. අපේ තියෙන බලාගාරත් එක්ක මේ ගැප් එක තමයි අර්බුදය හදන්නේ. සෝලාපවර් පද්ධතිය අප හිතූ හිතූ පරිදි ඒකට ඇතුළත් කරන්න බැහැ. ඒක තාක්ෂණික ප්‍රශ්නයක්. අපි ඒවා නිවැරදි කරගත යුතුයි. 88-89 අඳුරු යුගය දැන් ඉවරයි. නමුත් ඊට පසුව අවුරුදු 35ක කාලයේ අපේ ක්‍රියාකාරකම් ගැන කවුරුවත් කතාකරන්නේ නැහැ. මේ කාලය තුළ අපේ සහෝදරවරු

7 – 8 දෙනෙක්ම මේ පාලනය තුළ මරල දැම්මා. හැබැයි අපි එක වැලිකැටයක් වත් අතට ගත්තේ නැහැ. ඒ බව මේ සමාජයට අමතකයි. හැබැයි 88 – 89 මතකයි. ඒක කොච්චර දුරට සාධාරණද කියල හිතල බලන්න.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා-

අද කවුරුත් ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න කියල. ඒ මහතාට ගෙදර යන්න කියන්නේ එයාගෙ මූණ අප්සෙට් හින්දද නෑ. එහෙම නෙවෙයි එයාගෙ ප්‍රතිපත්ති ගැන විශ්වාසය කළ ජනතාවට ඒ විශ්වාසය කඩවූ නිසා අද එයා ඇලජික් වෙලා තියෙනවා. මෑත දේශපාලන ඉතිහාසයේ වැඩිපුරම ජනතාව විශ්වාස කරන නායකයෙක් වුණා. ඒ විශ්වාසය මත රට ජාතිය ආගම දූෂණය වංචාව එක රටක් එක නීතියක් ගොඩක් දේවල් ඒ ලැයිස්තුවට බරයි. ඒ නිසාම මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වැඩිපුරම ඡන්දය දුන්නා. නමුත් ඔහු ඒ ජනවරමට පයින් ගැහුවා. ඒ නිසා ජනතාව ඔවුන්ගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරනවා. අපේ රටේ දූෂණ විරෝධී අරගලයේ හොරුන්ට දඬුවම් කරනවා කියල අපි ප්‍රායෝගිකව ඔප්පු කරල තියෙනවා. අපට අත්දැකීම් තියෙනවා. මම මේ අරගලයෙ දකින ලස්සනම සටන්පාඨය තමයි මීට පස්සේ වීඅයිපී නැහැ. වීඅයිපී තියෙන්නේ ඇම්බියුලන්ස්වලට විතරයි. ඒක අපි කලින් කියපු දෙයක්. ඒක අපි භාවිතාවට ගත යුතුයි.

සාහිත්‍යවේදී දුලිප් අසෝක මහතා-

අපිට ඒ කාලයේ මිත්‍රයෙක් හමුවුණා. එයාට තියෙන්නේ අමුතු ලිපිනයක්. අපේ ගෙවල්වලට අංකයක් එක්ක ලිපිනයක් තියෙනවා. නමුත් ඔහුගේ ලිපිනය වුනෙණ තනි සිග්නල් කණුව අසල තඹුත්තේගම. මොහුගේ නම අරවින්ද. පස්සේ මොහු ජනප්‍රිය වෙන්නේ අනුර කුමාර දිසානායක කියල. මොහු හමුවෙනකොටම අපි දැනගෙන හිටියේ ඔහු ජේවීපී මතවාදය තුළ ඉන්න ක්‍රියාකාරකයෙකු බව. ඒ යුගයට අනුව අපි හිටියේ ඊට පසමිතුරු දේශපාලන ව්‍යාපාරයක් වන කොමියුනිස්ට් පක්ෂයේ මතවාදයේ. හැබැයි අප අතරේ ගොඩනැගෙන මිත්‍රත්වයට මේ දේශපාලනයට බාධාවක් වුණේ නැහැ. ඒ වගේම අප අතරේ විවෘත ගැඹුරු දේශපාලන සංවාද පැවතුණා. ඒ වෙනකොට මම දියැසි කණ්ඩායමේ වසන්ත දිසානායක ප්‍රමුඛ අපි ජවිපෙ ප්‍රභවය විකාශනය හා දේශපාලනය නමින් ජවිපෙ දේශපාලනය බරපතළ විදියට විවේචනය කරන කෘතියක් නිර්මාණය කරමින් සිටියා. එහි සමහර කෙටුම්පත් මම මගේ කාමරයට ගෙනාවම ඒව අනුර බලනවා. එවැනි ඉතා පුළුල් අවබෝධයක් තමයි තිබුණේ. ඊට අවුරුදු 05කට පස්සේ ඔහු පාර්ලිමේන්තු යනවා. අපි විවිධ රැකියාවල්වලට යනවා. අපි අතර සමහර මතගැටුම් තිබුණා. සදර්න් හයිවේ එක හදන කොට අනුර ඒක විවේචනය කළා. අපි බැලුවා පැය හතරෙන් කොළඹ යන එක පැයකට අඩු වෙද්දී මොකක්ද මේ කියන්නේ කියල. අපි හිතුවේ කීයක් හරි ගහගත්තත් කමක් නෑ වැඩේ කෙරෙනව නම් කියල. අද තමයි අපට තේරෙන්නේ පටන් අරගෙන තිබුණ ඒ හයිවේ එකෙන් හයිවේ තුනක් හදන්න පුළුවන් කියලා. ඉතිරි සල්ලිවලට මොකද වුණේ කියල අපිට දැන් තමයි තේරෙන්නේ. අනුර ඒ ටික එදාම දැක්කා. ඔහුට හොඳ ඉදිරි දැක්මක් තිබුණා. අපිට ඒක එන්නේ ඉතා පහුවෙලා. අද අපි ඒක තේරුම් අරගෙන ඉන්නවා.

සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment