වාමාංශික ප්‍රගතිශීලී අරගලයේ රතු තරුව කෙනමන්

149

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භක නායකයෙකුවූ ද, පීටර් කෙනමන් මහතාගේ 26 වන අනුස්මරණ දිනය ජනවාරි මස 23 වන දිනට යෙදී ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

1917 ඔක්තෝබර් 03 වන දා පීටර් කෙනමන් උපන්නේය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්ය. මෙකල රීඩ් මාවත නමින් හැඳින්වෙන කොළඹ “බෙලයාර්” නම් නිවසෙහි ඔහුට ජන්ම ලාභය දුන්නේය. ඔහුගේ පියා ආතර් එරික් කෙනමන් ඒ කාලයේ හොඳ ආදායම් ලාභී බැරිස්ටර් කෙනෙකු විය. පසුව ඔහු රාජ නීතීඥයෙකු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයෙකු වී විශ්‍රාම ගැනීමට මඳ කලකට කලින් අග්‍ර විනිශ්චයකාර ධුරයෙහිද වැඩ බැලුවේය. ඔහු 1958 දී පරලෝ සැපත් විය. 1933 දී පීටර් කෙනමන් ශිෂ්‍යයෙකුව සිටියදී තම දෙමව්පින් සමග මහා බ්‍රිතාන්‍යයේ හා බටහිර යුරෝපයේ හය මසක චාරිකාවක යෙදුණේය. ඔහුගේ මේ ප්‍රථම විදේශ සංචාරය යෙදුණේ හිට්ලර් ජර්මනියෙහි බලයට පත්වූ වර්ෂයෙහි ය. තරුණ කෙනමන්ට ලෝකයේ සමහර දේශපාලන ප්‍රශ්න ගැන අවබෝධයක් ලැබුණේ මේ ගමනේ දීය. ඔහුට කොමියුනිස්ට් වාදය ගැන කියවන්නට ලැබුණේ පාසල් ජීවිතයේදීමය. ඒ කාලයේ ලංකාවෙහි සංවිධිත වාමාංශික ව්‍යාපාරයක් නොතිබුණේය. ලංකාවේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී හා ඉන් පිටත දී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහයන් විසින් සමාජවාදය ගැන අදහස් ප්‍රකාශ විය.

තම පියාගේ පුස්තකාලයේ පොත් පරීක්‍ෂා කර බලමින් සිටි එක් දිනක දී ලෙනින්ගේ අධිරාජ්‍යවාදය නමැති පොත හමුවිය. ඔහු ඒ පොත කියවීය. මෙසේ ඔහු හමුවේ නව ලෝකයක් විවෘත වූයේය.

1936 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා මහා බ්‍රිතාන්‍ය බලා පිටත් වූයේය. පීටර් කෙනමන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා ලංකාවෙන් පිටත් වූ කාලයේ කොමියුනිස්ට් වාදයේ සත්‍යය ඔහුට න්‍යයික වශයෙන් අවබෝධ වී තිබිණ. 1939 දී කේමබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබූ ඔහු දිවයිනට පැමිණෙන විට ලංකාවේ තත්ත්වය බොහෝ සේ වෙනස් වී තිබිණි. ඉතාම කැපී පෙනෙන වෙනස වී තිබුණේ සංවිධානය වූ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී ව්‍යාපාරයක් ආරම්භවී තිබීමයි. 1935 බිහිකළ ලංකාවේ ප්‍රථම සමාජවාදී පක්ෂයවූ ලංකා සම සමාජ පක්‍ෂයෙන් 1936 වර්ෂයේදී පැවැති දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයින් දෙදෙනෙකු තේරීපත්ව සිටියහ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා පිලිප් ගුණවර්ධනයන්ය. දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ සමයේදී එතෙක් එකමුතුව තිබූ ලංකා සමසමාජ පක්‍ෂය තුළ නායකයන් අතර තිබුණු මතභේදයේ ප්‍රතිඵලයක් ලෙස ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක නායකයින් වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්ඩිස්, උඩුකැන්දවල සිරි සරණංකර හිමි ඇතුළු තවත් අය පක්‍ෂයෙන් නෙරපනු ලැබුව වුන් අතර වූහ. සමසමාජ පක්ෂයෙන් නෙරපූ දොස්තර වික්‍රමසිහ ඇතුළු පිරිස සමග එක්වූ පීටර් කෙනමන් 1940 නොවැම්බර් මාසයේදී පෑලියගොඩ පැවැති සාකච්ඡාවකින් පසුව එක්සත් සෝෂලිස්ට් පක්‍ෂය පිහිටුවීමට තීරණය කළේය. පීටර් කෙනමන් එහි ප්‍රධාන ලේකම් ධුරයට පත් විය.

1942 එක්සත් සෝෂලිස්ට් පක්‍ෂය තහනම් කර දොස්තර වික්‍රමසිංහ සිරභාරයට ගැනීමෙන් පසුව, 1943 ලංකා කොමියුනිට් පක්‍ෂය පිහිටුවීමේදී එහි ප්‍රධාන ලේකම් ලෙස පත්වූයේ පීටර් කෙනමන්ය. කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රමුඛ කාර්යභාරයන් වූයේ කම්කරු ජනතාව සංවිධානය කිරීමය. පීටර් කෙනමන් ඒ සඳහා තම කාලය යොදා කටයුතු කළේය. ඒ කාලයේ මුළු ලංකාවේම ලියාපදිංචි වෘත්තීය සමිති ප්‍රමාණය පනහකට අඩු විය.

ඒ වනවිට කම්කරුවන්ට අයිතිවාසිකම් හෝ වරප්‍රසාද තිබුණේ ස්වල්පයකි. දවසට පැය 10 හෝ 12 ක් වැඩ කළ ඔවුන්ට ලැබුණේ දවසට ශත 60 ක් හෝ 70 ක් පමණි. කුලීකරුවන් වශයෙන් එකල හැඳින්වූ කම්කරුවන් ස්වාමි පක්‍ෂය හා යටත් විජිත ආණ්ඩුව පැවැති සමාජය විසින් ඔවුන්ට සලකන ලද්දේ ඉතා පහත් අන්දමිනි. කොමියුනිස්ට්වාදීන්ගේ නායකත්වය යටතේ කොළඹ නගරයේ කර්මාන්ත ආයතන 35 ක වෘත්තීය සමිති ගොඩනගා ලංකා කම්කරු සමිති සම්මේලනය නමින් වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් ගොඩනගා තිබුණි. (අද ලංකා වෘත්තීය සමිති සම්මේලනය නමින් හැඳින්වෙයි.) එහි සභාපති වූයේ පීටර් කෙනමන්ය.

1947 පාර්ලිමේන්තු ප්‍රථම මැතිවරණයට පීටර් කෙනමන් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයෙන් මැද කොළඹ බහු මන්ත්‍රී ආසනය තරඟ කර 3 වන මන්ත්‍රීවරයා ලෙස තේරීපත් විය. 1947 දෙසැම්බරයේදී කෙනමන් බටහිර කොටහේන කොට්ඨාසය වෙනුවෙන් කොළඹ නාගරික සභාවේ මන්ත්‍රීවරයා වශයෙන් ද තේරී පත් විය. 1959 දෙසැම්බර් මාසය වන තුරුම එම කොට්ඨාසය වෙනුවෙන් නාගරික සභාවෙහි පෙනී සිටියේය. කෙනමන් පාර්ලිමේන්තුව තුළ හා කොළඹ නාගරික සභාව තුළ නොකඩවාම කළ සටනත්, පාර්ලිමේන්තුවෙන් හා නාගරික සභාවෙන් පිටත අරඹනු ලැබූ බොහෝ මහජන ව්‍යාපාරයන්හි කළ සටනුත් නිසා ඔහු මහත් කීර්තියක් දිනා ගත්තේය. ඒ කොතරම්දයත්, 1952 දී දෙවන පාර්ලිමේන්තු මහා මැතිවරණය ඇති වූ අවස්ථාවේදී ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 1947 දී ලැබූ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිවිය. ඔහු ඡන්ද 32.346 ක් ලබා ගනිමින් මැද කොළඹ පළමුවැනි මහජන මන්ත්‍රීවරයා විය. 1968 දී ශ්‍රී ලංකා සමසමාජ, කොමියුනිස්ට් පක්‍ෂවල සමගි පෙරමුණ ගොඩ නැගීමට හා 1970 මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට කොමියුනිස්ට් පක්‍ෂය සහ පීටර් කෙනමන් විසින් ඉමහත් සේවයක් ඉටු කළේය. සමගි පෙරමුණ ආණ්ඩුව විසින් ඉටු කළ වැදගත් කටයුත්ත වූයේ රටේ දේශපාලන නිදහස සම්පූර්ණ කිරීමට හැකි වූ ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමය. පීටර් කෙනමන් නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා වශයෙන් ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳීම සඳහා වැදගත් මෙහෙයක් ඉටු කළේය. 1997 ජනවාරි මස 23 න දින පීටර් කෙනමන් සහෝදරයා අප අතරින් වෙන් වී ගියද ඔහු විසින් මෙරට වැඩකරන ජනතාවට හා සමාජවාදී ව්‍යාපාරයට ඉටු කළ මෙහෙය සදාකල් පවතිනු ඇත.

එස්. සුදසිංහ,
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය.

advertistmentadvertistment
advertistmentadvertistment