වාර්තා තබමින් දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් එක් දින කිරුළත් දිනයි

190

නැෂනල් සුපර් ලීග් ඉතිහාසයේ එක්දින සහ සිව්දින යන ශූරතා ද්විත්වයකටම හිමිකම් කී එකම කණ්ඩායම බවට පත්වීමට මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුලු කණ්ඩායම සමත් විය.

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මීට දින කීපයකට ඉහතදී දිනා ගැනීමට සමත්ව සිටි දඹුලු කණ්ඩායම පෙරේදා (06 වැනිදා) රාත්‍රියේ නිමාවූ නැෂනල් සුපර් ලීග් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ ද කිරුළු පැළඳීමට සමත් වෙමින් එම දස්කම දැක්වීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී ජැෆ්නා පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ දඹුලු කණ්ඩායම මෙම ජයග්‍රහණයට හිමිකම් කීය. ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 20 ක ජය මල්ලටද ඔවුන් හිමිකම් කී අතර අනුශූරතාවට පත් ජැෆ්නා කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 10 ක් හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය දඹුලු කණ්ඩායමේ සොනාල් දිනූෂ එල්ල කරන ලද හතරේ පහරත් සමග මෙවර එක්දින ශූරයන් බවට ඔවුහු පත් වූහ. මෙම තරගාවලිය ආරම්භයට දින කීපයකට ඉහතදී පවත්වා අවසන් කෙරුණු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූයේද මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුලු කණ්ඩායමයි.

ජයග්‍රාහී දඹුලු කණ්ඩායම වෙනුවෙන් පෙරමුණ ගත් පවන් රත්නායක පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 62 ක් ලබා දඹුලු පිලේ ලකුණු හඹා යෑමේ කොඳු නාරටිය වූවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් අශාන් ප්‍රියන්ජන් පන්දු 64 කදී ලකුණු 33 ක් ලබා ගත්තේය.

ලකුණු 161 ක ඉලක්කයක් වුවද ආරම්භයේදී ඉතා හොඳින් පන්දු යැවූ ජැෆ්නා කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවා වූ නායක මිනෝද් භානුක (01) සහ අංක 3 පිතිකරුවා ලෙසින් පැමිණි කමිඳු මෙන්ඩිස් (01) ගේ කඩුලු දවා ගත්තේ මුළු ලකුණු සංඛ්‍යාව 06 ක්ව සටහන්ව තිබියදීය. රාත්‍රී කාලයේදී පන්දුව අනපේක්ෂිත ඉපිලීමකින් සහ දඟ කැවීමකින් යුක්ත වුවත් සිය කඩුලු ආරක්ෂා කරගත් දකුණත් පිතිකරුවන් යුගලය වූ අශාන් ප්‍රියංන්ජන් සහ පවන් රත්නායක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් පවත්වමින් දඹුලු ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.

එහෙත් අශාන් ප්‍රියන්ජනත් පවන් රත්නායකත් මුළු ලකුණු සංඛ්‍යාව 119 ක්ව තිබියදී දැවී ගියත් මැද පෙළින් පැමිණි සොනාල් දිනූෂ දඹුලු පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 52 කට මුහුණ දුන් දිනූෂ හතරේ පහර 4 ක් සමඟ ලකුණු 45 ක් රැස් කරගත්තේ අවසන් මහ තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කියමිනි. පන්දුවට පහර දීමට අමතරව පන්දු යැවීමේදී ද පන්දු වාර 10 තුළදී ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය.

ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන රැස් කරන ලද ලකුණු 51 ක අර්ධ ශතකය හැරුණු කොට ජැෆ්නා පිලේ ඉදිරි පෙළින් පැමිණි අනෙක් පිතිකරුවන් 6 දෙනාටම ලකුණු 17 සීමාව ඉක්මවා ලීමට දඹුලු පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. අසිත ප්‍රනාන්දු විසින් නිශාන් මදුෂ්කගේ කඩුල්ල බිඳ දමන විට ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 12 කි. ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස නවෝද් පරණවිතාන දැවී යන විට ජැෆ්නා ලකුණු පුවරුව ලකුණු 107 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ලට එක් වුණු ජෙෆ්රි වැන්ඩර්සි සහ දිලුම් සුධීර යුගලය 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35 ක් එක් කළහ. 29 වැනි පන්දු වාරයේදී මුණ ගැසුණු මොවුන් දෙදෙනාට මුහුණ දීමට ප්‍රමාණවත් පන්දු වාර සංඛ්‍යාවක් ඉතිරිව තිබූ හෙයින් කලබලයකින් තොරව පන්දුවට පහර දුන්නේ එම සම්බන්ධතාව වෙනුවෙන් පන්දු 79 ක් වැය කරමිනි. සොනාල් දිනූෂ විසින් ලකුණු 23 ක් ලබා සිටි දිලුම් සුධීරව දවා ගැනීමත් සමඟ පන්දුව අතට ගත් දුශාන් හේමන්ත පිට පිට පන්දු 2 කදී ශිරාන් ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු දවා ගනිමින් ජැෆ්නා ඉනිම ලකුණු 160 කට සීමා කළේය. දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳුව හැසිරුණු ප්‍රේමදාස තණතීරුවේදී ඉතා හොඳින් පන්දුව දඟ කැවූ දුශාන් හේමන්ත, ලක්ෂාන් සඳකැන් සහ සොනාල් දිනූෂ ජැෆ්නා ඉනිමේ කඩුලු 9 ම බිඳ හෙළුවේ කඩුලු 3 බැගින් සමව බෙදා ගනිමිනි.

ජය සංකේත ප්‍රධානයේදී දක්ෂතම පිතිකරු සම්මානය ගෝල් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර විසින්ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් දඹුල්ල කණ්ඩායමේ ළහිරු සමරකෝන්ද නම් කළ අතර ඔවුන්ට එම කුසලාන සමඟ මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහස (150,000/=) බැගින් පිරිනැමිණ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය කලම්බු කණ්ඩායමේ අෂේන් බණ්ඩාර සම්මාන දිනා

ගනිද්දී ඔහුට මුදලින් රුපියල් ලක්ෂ 3 ක මුදලක් පිරිනැමිණ. අවසන් මහ තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණු සොනාල් දිනූෂට එම කුසලාන සමඟ මුදලින් රුපියල් හැත්තෑපන්දහසක (75,000/=) මුදලක් පිරිනමනු ලැබීය.

තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න සහ තරගාවලි සංවිධාන කමිටු ප්‍රධානී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අවසන් මහ තරගයේ වීරයා – සොනාල් දිනූෂ (ලකුණු 33 ට කඩුලු 3 යි, පන්දු 52 කදී නොදැවී ලකුණු 45 යි)

දක්ෂතම පන්දු යවන්නා – ළහිරු සමරකෝන් (දඹුල්ල) (තරග 7 යි කඩුලු 15 යි. සාමාන්‍ය 17.26 යි)

දක්ෂතම පිතිකරුවා – පසිඳු සූරියබණ්ඩාර (ගෝල්) (තරග 8 යි ලකුණ 323 යි, සාමාන්‍ය 46.14

තරගාවලියේ වීරයා – අෂේන් බණ්ඩාර (කලම්බු) තරග 8 කදී ලකුණු 419 යි. සාමාන්‍ය 59.86 යි)

ලකුණු සාරාංශය

ජැෆ්නා පන්දු වාර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 160 යි – (නවෝද් පරණවිතාන 51, නිශාන් මදුශ්ක 12, කසුන් අබේරත්න 17, ජනිත් ලියනගේ 16, කමේෂ් නිර්මාල් 00, ළහිරු මදුශංක 01, රවිඳු ප්‍රනාන්දු 01, දිලුම් සුදීර 23, ජෙෆ්රි වැන්ඩර්සි 26, ශිරාන් ප්‍රනාන්දු 05, බිනුර ප්‍රනාන්දු 00, සොනාල් දිනූෂ 33/3, ලක්ෂාන් සඳකැන් 22/3, දුශාන් හේමන්ත 22/3, අසිත ප්‍රනාන්දු 19/1)

දඹුල්ල පන්දු වාර 39 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 163 යි – (පවන් රත්නායක 62, අශාන් ප්‍රියන්ජන් 33, මිනෝද් භානුක 01, කමිඳු මෙන්ඩිස් 01, සොනාල් දිනූෂ 45, දුශාන් හේමන්ත 15, රනිත ලියනාරච්චි 02, බිනුර ප්‍රනාන්දු 17/2, දිලුම් සුධීර 40/1, ජෙෆ්රි වැන්ඩර්සි 48/2)

advertistmentadvertistment
advertistmentadvertistment